Wednesday, June 17, 2009

ජ්‍යෝතිෂ ප‍්‍රඥප්තියක් සඳහා ප‍්‍රවේශයක්

හිරු, සඳු, තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග‍්‍රහණ, සූර්ය ග‍්‍රහණ, අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, පින්න, පොළවේ ඇතිවන භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම්, සුළි කුණාටු තත්වයන්, ආදී කරුණු පිළිබඳ නිශ්චිත පූර්ව නිගමනයන් පැවසීමට, නූතන විද්‍යාව අතින් දියුණුවට පත්ව ඇති අවධියක නමුදු මිනිසාට අසීරු බව පැහිදිලි කරුණුකි.

මිනිස් ක‍්‍රියාකරකම්වල ප‍්‍රතිඵල ලෙස හෙවත් ප‍්‍රතික‍්‍රියා වශයෙන් ස්වාභාවිකත්වය තුළින් ඇතිවන තත්වයන් පිළිබඳ පුරෝකථනයන් දැක්වීම සම්බන්ධයෙන් ද පවතින්නේ මේ තත්වයමයි. එසේම මේ සෑම කරුණක් සම්බන්ධයෙන්ම පුරෝකථන පැවසීමේ විද්‍යාවන් නොයෙක් විෂයීය ක්‍ෂේත‍්‍ර ඔස්සේ දිවයයි. හිරු, සඳු, තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග‍්‍රහණ, සූර්ය ග‍්‍රහණ ආදී කරුණු පිලිබඳව තාරකා විද්‍යායාව ඔස්සේ විග‍්‍රහයන්, පුරෝකථන දැක්වීමට උත්සාහ ගන්නා බව අපට දැකගත හැකිය.

එසේම අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, පින්න, සුළි කුණාටු තත්වයන්, ආදිය පිළිබඳ කරුණු කාලගුණ විද්‍යාව ඇසුරින් විග‍්‍රහ කෙරෙයි. භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම් ආදිය භූගෝල විද්‍යාව ඇසුරින් කරුණු පැහැදිළි කෙරෙයි.
මේ ආදී වූ කරුණු තුළින් මිනිසාට ඇතිවන ආපදා, ව්‍යසනයන් හා අසීරුතාවන් පිළිබඳ නවමු කතිකාවක් ‘‘ආපදා කළමණාකරණය’’ නමින් අද්‍යතන සමාජය තුළ පැන නැගී ඇත්තේ එහි පවතින උපයෝගීතාව හේතුවෙනි.

ඇත්තෙන්ම අප මෙම ලිපිය මගින් ඔබේ මනස යොමු කිරීමට උත්සාහ කරන්නේ ජ්‍යෝතිෂ විෂය ආපදා කළමණාකරණය හා බද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට නොවේ. එසේ නම් මේ කුමක් පැවසීම සඳහා ලියැවෙන්නක් ද යන්න ගැන ඔබේ සිතෙහි ගැටළුවක් ඇතිවීම ස්වාභාවිකය.

නවීන විද්‍යාව අතින් අති නවීනත්වයට පත් ව ගෝලීයකරණයට ලක්ව ඇති ලෝකය තුළ ජ්‍යෝතිෂ විෂයයේ සමාජ භාවිතාව කවර මට්ටමක පවතින්නේ ද යන්න මෙම ලිපියෙන් පැහැදිළි කිරීමට උත්සාහ ගන්නා බව මෙහිදී පැවසිය යුතු වෙයි. දරුවෙකු බිහිවන වේලේ සිට මරණය දක්වා දුක්බර මෙන්ම සොම්නස් කුදු මහත් සෑම අවස්ථාවක දීම ජ්‍යෝතිෂය පිහිටට උපකාරයට ගැනීම සම්බන්ධයෙන් විවාදයට කිසිදු ඉඩක් නැත.

නමුත් වර්තමාන සමාජයේ එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමාලෝචනයක යෙදීමෙහි ප‍්‍රබල අවශ්‍යතාවක් ඇති බව පෙන්වා දිය යුතුය. මන්ද එහි සමාජ භාවිතාව පවතින ආකාරයෙන් තේරුම් ගැනීම ජ්‍යෝතිෂ විෂයෙහි ප‍්‍රගමනයට දායක කරගත හැකි බැවිනි.

එපමණක් ද නොව මෙ මගින් ජ්‍යෝතිෂ විෂය සඳහා ප‍්‍රඥප්තියක් සකස් කරගැනීම වෙත ප‍්‍රවේශයක් ලබාදිය හැකිය. මෙතෙක් ‘‘ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයෙහි’’ පළ වූ ලිපි කියවා ඇති ඔබට ජ්‍යෝතිෂයෙහි ප‍්‍රභේදකරණයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. තන්ත‍්‍ර, හෝරා සහ සංහිතා යනුවෙන් එය ත‍්‍රිවිධාකාරය. නමුත් භාවිතය තුළ මීට සම්බන්ධ වී ක‍්‍රියත්මක වන්නා වූ තවත්
ක‍්‍රියාදාම රැු සක් සමාජ ගතව පවතින බව ඔබට පෙන්වාදිය හැකිය.


™ සූර්ය සිද්ධාන්තය, ප්ලැසිඞීස් චක‍්‍ර ආදී මූල සිද්ධාන්ත ඇසුරින් ලිත් ගණිතය ප‍්‍රගුණ කොට ලිත් ග‍්‍රන්ථ හා බිත්ති ලිත් ප‍්‍රකාශනයෙහි නියැලෙන්නන්

™ ලිත් හෝඩිය, නක්‍ෂත‍්‍ර නිඝණ්ඩුව, සාරාවලිය, හෝරාභරණය, භාව කුතුහලය, ජෛමිනි ශාස්ත‍්‍රය, වරාහමිහිරය ආදී පෙළ පොත් කියවා තරමක් දුරට ජ්‍යෝතිෂයෙහි කරුණු අවබෝධය ඇතිව එසේ වෙළඳපලට නිකුත් කෙරෙන ලිත් භාවිත කොට දල කේන්ද්‍ර, භාව කේන්ද්‍ර, සෑදීමෙහි, පලාඵල කථනයෙහි හා සුභ මුහුර්ථ සෑදීමෙහි නියුතු වූවන්

™ මොවුන්ගේ විනිශ්චයන් පාදක කොට පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපල සඳහා ශාන්ති කර්ම කිරීමෙහි නියැලෙන්නන්

™ ග‍්‍රහ අපල දුරු කිරීම සඳහා සෙත්කවි රචනයෙහි හා කියැවීමෙහි නියැළෙන්නන්

™ ග‍්‍රහ අපල දුරු කිරීම සඳහා දෙවියන්ට කන්නලව් කොට භාර හාර සිදු කිරීමෙහි නියැලෙන්නන්

™ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කොට අංගම්, පිල්ලූ, කාලම්, අණවින, කොඩිවින, හූනියම්, ආදී පුද්ගල නාශක අභිචාර සිදුකරන්නන්

™ පුද්ගල නාශක අභිචාරවලට ගොදුරු වූවන් ඉන් මුදවාලීමෙහි නියුතු වූවන්

™ හස්තරේඛා කියැවීම කරන්නන්

™ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කොට පේන හෙවත් අඳුන් බලා පලාඵල කථනය කරන්නන්

™ දේවාරූඪයෙන් හෝ වෙන යම් අධි මානුෂීය ශක්තියක් උපයෝගි කර ගනිමින් ශාස්ත‍්‍ර කියන්නන්

මීට අමතරව අද සමාජ භාවිතයේ, දැකගත හැකි නව ප‍්‍රවණතා රැසක් ජ්‍යෝතිෂය මුල්කොට ක‍්‍රියාත්මක වන බව ඔබට පෙන්වාදිය හැකිය.

™ දිනපතා, සතිපතා, මාසික පුවත් පත්, සඟරා සඳහා ලග්න පලාඵල සැපයීමෙහි නියුතු වූවන්

™ ගුවන්විදුලි නාලිකාවන් සහ රූපවාහිනී නාලිකාවන් වෙත පුවත් විකාශනයෙන් පසුව හෝ
උදෑසන දවස ආරම්භයේ දී රාහු කාලය පිළිබඳ හෝ දවසේ සුභ වේලාවන් පිළිබඳ හෝ විකාශනයට අවශ්‍ය තොරතුරු සැපයීමෙහි නිරත වූවන්

™ දවසේ රාහු කාලය පිළිබඳ හෝ දවසේ සුභ වේලාවන් පිළිබඳ හෝ තොරතුරු ජංගම දුරකථන සේවා අයතන වෙන සැපයීමෙහි නිරත වූවන් (මේ තොරතුරු ලබාගැනීම සඳහා ඒ ඒ දුරකථන සේවා අයතන වෙත ඇමතිය යුතු අංක ඒ ඒ ඒ ඒ දුරකථන සේවා අයතන අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් මොබිටෙල් ලංකා ආයතනය මගින් නිකුත් කරන ලද දුරකතන සම්බන්ධතාවක් භාවිත කොට අංක 128 අමතා රාහු කාලය සහ ලග්න පලාඵල දැනගත හැකිය)

™ පරිගණක භාවිත කරමින් හස්ථ රේඛා පලාඵල සහ කේන්ද්‍ර පලාඵල ලබාදීමෙහි නියුතු වූවන්

™ අන්තර්ජාලය භාවිත කරමින් ජ්‍යෝතිෂ සේවා සැපයීමෙහි නියුතු වූවන් ™ ජ්‍යෝතිෂ විෂය කරුණු ඇතුළත් පත පොත මුද්‍රණය කිරීමෙහි හා ප‍්‍රකාශනයෙහි නියතු වූවන්

™ ජ්‍යෝතිෂ විෂය කරුණු ඇතුළත් පත පොත බෙදාහැරීමෙහි හා විකිණීමෙහි නියුතු වූවන්. මෙහිදී පිටකොටුවේ හෝ වෙනයම් නගරයක බස්රථවල සිට වසරක් ගෙවී වසරක් උදාවන අවස්ථාවන් හි දී ලග්න දොළසට අයත් ලග්න පලාඵල පොත් පිංචක් සහ බිත්ති ලිතක් විකිණිමෙහි යෙදෙන්නන් ද ඇතුළත් බව සැලකිය යුතුය.

මේ අතර ජ්‍යෝතිෂ විෂය සම්බන්ධ වී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් කවරේද යන්න හඳුනාගැනීම කළ යුතු වෙයි. එම විෂයයන් පහත දැක්වෙන අයුරින් පෙළ ගසා දැක්විය හැකිය.

™ තාරකා විද්‍යාව Astronomy
™ ගණිත විද්‍යාව Mathematics
™ ප‍්‍රක්‍පෙණ විද්‍යාව Projection
™ පරිගණක විද්‍යාව Computer Science
™ උපදේශනය Counseling
™ ආචාර විද්‍යාව Ethics
™ ආයුර්වේද වෛද්‍යකරණය Ayurvedic Medicine

™ මනෝ විද්‍යාව Psychology
™ අධිමනෝ විද්‍යාව Para-Psychology
™ අභිචාර Ritual
™ ශබ්ධ විද්‍යාව Audio-logy
™ මන්ත‍්‍ර, තන්ත‍්‍ර, ශ්ලෝක, යාදිනි, සැහැළි, කවි
™ පංච තූර්ය නාද භාවිතය
™ පූජා විධීන් Worship Patterns
™ මූර්තිකරණයSculpture
™ කැටයම් Carvings
™ චිත‍්‍ර හා වර්ණ සංයෝජනය Paintings and Colourings
™ සැරසිලි Decoration
™ නර්තනය Dancing
™ ආලෝකකරණය Lightings

ඇතමෙක් මෙම විෂයීය විශ්ලේෂණය සඳහා විරෝධාත්මක ආකල්පයක් දැක්විය හැකිය. ඊට හේතුව, මෙහි දැක්වෙන ඇතැම් විෂයයන්ගේ මූලික සිද්ධාන්ත, නිර්වචන හා විධික‍්‍රම භාවිතයන් අනන්‍ය වූ ලක්‍ෂණ පෙන්වන බැවිනි.

එම විෂයයන් මෙහිලා සම්බන්ධතාවක් ඇතැයි සෘජුව පිළිගත නොහැකි නමුත් යම් ගැඹුරු විශ්ලේශනයක දී ඊට සම්බන්ධතාවක් ඇති බව පෙන්වාදිය හැකිය. බොහෝ අවස්ථාවන්හි දී බටහිර පශ්චාත් නූතනවාදී සහ ඇතැම් ක්වොන්ටම්වාදී ගුරුකුළයන්ගේ සරණ ගියවුන් මෙහිලා ඉහත විෂයීය විශ්ලේෂණය පිළිගැනීමට එකඟ නොවන බව පෙනී යයි.

සමාජ බිය මගින් මෙහෙයවනු ලැබූ ඔවුහු ඇතැම් විටෙක තම දැණුම සඳහා ලැබී ඇති සහතික හා සමාජ බුහුමන් නැමති පිටපොත්ත මෙම අදහස් පිළිගැනීමට යාමේ දී පළුදු වේ යැයි බියෙන් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් ප‍්‍රතික්‍ෂේප කරන බව ඇඟවීමට උත්සාහ ගනී.

බුදු වදනක ඇති ශ්‍රේෂ්ඨත්වය මෙහි දී පෙන්වා දිය යුතුය. ‘‘බහුං චෙ සරණං යත්‍ති පබබතානි වනානි ච ආරම රුක්‍ඛ චෙත්‍යානි මනුස්සා භය තජක්‍ධිතා (මිනිසා භය සංත‍්‍රාසයට පත්වන අවස්ථාවන් හි දී පර්වත, වන ගහණ, ආරාමයන්, වෘක්‍ෂයන් හා චෛත්‍යස්ථානයන් පිහිට පතන’ බව ඤහෙවත් මානසික බිඳවැටීම්වල දී අධි මානුෂීය අභිචාර විධීන් අනුගමනය කිරීමට යොමුවන බව‘ මින් කියැවේ)’’ එවැනි අවස්ථාවල දී යට කී ඇතැම් ද පිරිස් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් හොර රහසේම අනුගමනයට පෙළඹෙන මුත් ඒ බව යම් අවස්ථාවක ප‍්‍රසිද්ධියට පත් වන්නේ යැයි හැඟී යන ඕනෑම විටෙක දී ඉතා තදින් ඊට පහර ගැසීමට ඔවුහු පෙළඹෙති. මෙම තත්වය ලාංකීය සමාජය තුළ ද පැහැදිළිව දැකගත හැකි කරුණකි.

මෙම තත්වය පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීම හෝ මෙහිලා විවේචන ඉදිරිපත් කිරීම හෝ පාඨක ඔබට බාර කටයුත්තකි. ඇතැම් විටෙක මෙම අදහස් සමග ඇතැමෙකුට සෘජුව දෝෂාරෝපණ නැගීමට හේතු තිබීමට පුළුවන.

මෙයට හේතුව සත්‍යය අවබෝධ කරගැනීම සඳහා පවතින ඉඩප‍්‍රස්ථා අහුරාලීම හෝ සත්‍යය වෙත ලඟාවීමට ඇති මාර්ග අහුරාලීම ඔවුන්ගේ කාර්යයන් වී ඇති බැවිනි. නමුත් ඉහත සඳහන් කරන ලද ජ්‍යෝතිෂයේ සමාජ භාවිතය පිළිගැනීීම කෙසේ වෙතත් එවැන්නක් අද සමාජයේ පවතින බව අවබෝධ කරගැනීම ජ්‍යෝතිෂ විෂයය සඳහා ප‍්‍රඥප්තියක් ගොඩ නැගීමේ දී අවශ්‍ය බව අවධාරණය කළ යුතුය.

රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතිව ජ්‍යෝතිෂ විෂයය සඳහා සංගායනාවක් සිදු කිරීම පිළිබඳව ද එය පාසල්, විශ්ව විද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල විෂය ධාරාවට ඇතුළත් කිරීම පිළිබඳව ද ජ්‍යෝතිෂවේදීන්ගේ දැණුම මැනීම සඳහා නිර්ණායක පැණවීමේ අවශ්‍යතාව පිළිබඳව ද පවතින විවිධ වූ කතිකාවන් ඇතුලෙහි පදනම් අවශ්‍යතාවක් සපුරාලීම වෙනුවෙන් මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරමි.

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්