යම් විෂයයක් බිහිවීමේ දී ප‍්‍රධාන වශයෙන් නව සොයාගැනීමක් මත පදනම්ව එය බිහිවෙයි. නොඑසේ නම් යම් සංස්කෘතියක් හෝ යම් සන්දර්භයක් තුළ නව විෂයයක් බිහිවීම වෙයි. මේ තත්වය සෑම සමාජයීය විෂයයකට මෙන්ම සෑම විද්‍යාවකටම පොදු ධර්මතාවකි.
නමුත් මෙම පොදු ධර්මතාව මත පිහිටා සන්දර්භය තේරුම් ගැනීමට යාමේ දී ගවේශකයාට එම විෂයයට අදාළ වපසරිය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙන්වාදිය හැකිය.
පැරණි ආප්තෝපදේශයක් වන ”ලිං මැඩියා වගෙයි” යන කියමන වෙත නොඑසේ නම් ”දූපත් මානසිකත්වය” යනුවෙන් ක්වොන්ටම්වාදී ගුරුකුල හා ඩෙරීඩාවන් සරණගියවුන් පෙන්වාදෙන න්‍යාය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව අවධාරණය කරනු කැමැත්තෙමි.
යම් වස්තුවක් දෙස අප බලන ආකාරය ඉහත රූප සටහන් තුළින් පෙන්වා ඇත. මෙම උදාහාරණාත්මක රූප සටහන තුළ ඉහළ සිට පහළ බැලීමත්, පහළ සිට ඉහළ බැලීමත් පෙන්වා ඇත. මෙම රූපසටහන් දෙකෙහිම ඇස පිහිටි ස්ථානය සහ එම ඇසෙහි දෘෂ්ඨිය යොමුවන දිශාව සහ කෝණය පෙන්වා ඇත.
මේ අනුව පළමු රූපයේ දී විෂයය වස්තුවේ සාර්වය දකින අතර දෙවන රූපයේ දී විෂයය වස්තුවේ පැතිකඩක් පමණක් දැකගැනීමට ලක් වන බව අපට පෙනන කරුණකි. ඉහතින් දැක් වූ ආප්තෝපදේශය පළමු රූපයට ආදේශ කළ නොහැකි අතර දෙවන රූපයට මැනවින් ගැළපෙන්නකි. මේ අනුව පහත දැක්වෙන පරිදි එම න්‍යාය විෂය බද්ධ කළ හැකිය.
x පළමු ස්ථරය - ගෙදර සිට ගෙදරින් පිටත බැලීම
x දෙවන ස්ථරය - පිටතට ගොස් ගෙදර දෙස බැලීම
x තෙවන ස්ථරය - ගමේ සිට නගරය දෙස බැලීම
x සිව්වන ස්ථරය - නගරයට ගොස් ගම දෙස බැලීම
x පස්වන ස්ථරය - රටක සිට විදේශයන් දෙස බැලීම
x සයවන ස්ථරය - විදේශයකට ගොස් රට දෙස බැලීම
x සත්වන ස්ථරය - පෘථිවියේ සිට විශ්වය දෙස බැලීම
x අටවන ස්ථරය - විශ්වයට ගොස් පෘථිවිය දෙස බැලීම
x නවවන ස්ථරය - මම විසින් අනුන් දැකීම
x දසවන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම අනුන් දැකීම
x එකොළොස්වන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම විසින් මා දැකීම
මෙහි දක්වන ලද ස්ථර එකොළොසෙහි ක‍්‍රියාත්මක වන විෂයයන් රැසක් අපට දැකගත හැකිය. පුද්ගලයා හා මනස යන දෙවැදෑරුම් වස්තූන් මූලිකත්වයෙන් සංස්කෘතික ලෝකයක් ගොඩනගා ඇති අයුරුත්, එසේම එම සංස්කෘතික ලෝකය මත විෂයය ධාරාවන් ගොඩනගා ඇති අයුරුත් අපට මේ අනුව පෙන්වාදිය හැකිය.
මෙසේ ගොඩනගන ලද දර්ශනය ඇතුළු සමාජයීය විෂයය ධාරාවන් මෙන් ම විද්‍යානුකූල පදනමක් ඇති සෑම විෂයය ධාරාවක් ම සහ විද්‍යානුකූල පදනමක් නැතැයි සලකන විෂයයන් සියල්ලම මෙම රාමුව තුළ අන්තර්ගත කොට ඇත. මෙම රාමුව තුළ ජ්‍යෝතිෂය විෂයය කවර ආකාරයකින් ගොඩනැගී ඇති ද යන්න මෙන් ම එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව විමර්ෂණාත්මක අයුරින් විමසා බැලීම මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැකිය.
ඉහත දක්වන ලද ස්ථර සටහනට අනුව එහි සත්වන ස්ථරයෙන් ඉහළට ගිය විෂයයක් ලෙස ප‍්‍රථමයෙන්ම ජ්‍යෝතිෂය විෂයය පෙන්වාදිය හැකිය. එහි ක‍්‍රියාකාරීත්වය පෘථිවියේ සිට විශ්වය දෙස බැලීමකින් ආරම්භ වෙයි.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත‍්‍රයේ පෙන්වා දී ඇති ආකාරයට ”ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච ලෝක නිරෝධගාමිණී පටිපදං ච පඤ්ඤපේමි” යන ලෝකය, ලෝක සම්භවය, ලෝක නිරෝධය සහ ලෝක නිරොධය සඳහා වන ප‍්‍රතිපදා මාර්ගය යන සතර කරුණු මෙම බඹයක් පමණ වන ශරීරය තුළ ම අන්තර්ගත වන බව බුදුරදුන් පෙන්වා දී ඇත.
එම මූලික ප‍්‍රකාශය බැහැර නොකොට පුද්ගලයාගේ පසිඳුරන් තුළින් ග‍්‍රහණය කරනු ලබන විෂය වස්තූන් හා එකී විෂය වස්තූන් පිළිබඳව පුද්ගලයාගේ මනසෙහි ගොඩ නැගෙන සංස්කෘතික අත්දැකීම් තුළින් පුද්ගලයා ඉහත දක්වන ලද ස්ථර ගොඩනගා ගන්නා බව අපට පෙන්වාදිය හැකිය.
මෙසේ ගොඩනගා ගන්නා ස්ථර එකිනෙක විශ්ලේෂණය කිරීමෙන් සමාජයක් ගොඩ නැගෙන අයුරුත්, එසේ ගොඩ නැගෙන සමාජය තුළ අන්තර්ක‍්‍රියාවන් ගොඩනැගෙන අයුරුත්, එම අන්තර් ක‍්‍රියාවන් පාදක කොට ආර්ථිකය දේශපාලනය සහ අනෙකුත් භෞතික විෂය පද්ධතීන් ගොඩ නගා ගන්නා අයුරුත් සහ සම්බන්ධතාත්මක දෘෂ්ඨියකින් බැලීමේ දී අවබෝධ කළ හැකිය.
මේ ආකාරයට මූලිකව විෂයය ධාරාවන් ගොඩනැගෙන අතර එකී ගොඩනැගෙන විෂයය ධාරාවන් සංවර්ධනය කිරීමේ දී විවිධ සන්ධිස්ථාන පසුකර ඉදිරිය බලා ගමන් කරන බව ද අපට දැකගත හැකි ස්වාභාවික සිද්ධියකි. මෙම විෂය සංවර්ධන ක‍්‍රියාවලියේ දී දැකගත හැකි ලක්‍ෂණයක් වන්නේ ”උත්සාහ කිරීම් සහ වැරදීම්” තුළින් විෂය සංවර්ධනය කිරීමයි. එය මනොවිද්‍යානුකූල විග‍්‍රයන් තුළ පෙන්වා දී ඇති මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ස්වභාවය මත සිදුවන්නක් බව අපට පෙන්වාදිය හැකිය.
නමුත් ඇතැම් විෂයය ධාරාවන් එහි ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැගෙන බව කිසිදු පුද්ගලයකු විශ්වාස නොකරන දෙයක් වශයෙන් කිව හැකිය. නමුත් සත්‍යය දකිනවුන් ඒ විශ්වාස කරති. සත්‍යය දැකීමට ආරාධනා කරමින් මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැඟුන ජ්‍යෝතිෂ විෂයය ධාරාව පිළිබඳ විමර්ෂණාත්මක දෘෂ්ඨියක් ඇතිකරගන්නා ලෙස ඉල්ලමින් මෙම ලිපිය තවදුරටත් ඉදිරිපත් කරමි.
අවුරුදු 1805ක් වයසැති භාරත යෝගියා මහාවතාර් බබාජී යනුවෙන් 2009 මාර්තු 16 වැනි දින රිවිරිසි පත‍්‍රයේ පළ අසෝක මාලිමගේ ඇමරිකාවේ සිට ලියන ලද ලිපියට අනුව, යමෙකුට භාවනාව උපයෝග කරගෙන පුද්ගලයෙකුගේ මානසික සංවර්ධන ක‍්‍රියාවලියේ ඉහළ ස්ථරයකට ලඟාවිය හැකි බව ඔබ කියවන්නට ඇතැයි සිතමු. එතුළින් පුද්ගලයාගේ අයුෂය, ස්මරණය පමණක් නොව ජීව ශෛලයන්ගේ භෞතිකත්වය පවා පාලනය කිරීමේ ප‍්‍රබල හැකියාවක් දක්වා චිත්ත ශක්තිය කුළු ගැන්විය හැකි බව පෙන්වා දෙයි.
මෙම තත්වය බුදුන් වහන්සේ ද මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී තහවුරු කරමින් අනඳ හිමියන්ට පවසා ඇත්තේ සතර සෘද්ධිපාදයන් වන චන්ද (සතර අගතියට නොයාම), චිත්ත (රාග ද්වේශ මොහාදියෙන් දමනය කරන ලද සිත), විරිය (උපන් අකුසල් මැඞීමටත්, නූපන් අකුසල් නොඉපැදවීමටත්, නූපන් කුසල් ඉපැදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ගන්නා උත්සාහය), විමංසා (දස අව්‍යාකෘතාදියෙන් තොර කාලාමස සූත‍්‍රයේ දී පවසන ලද ආකාර වූ විමර්ශනයකින් යුතු විදර්ශනයට යොමු කරන ලද සිත) මනාව වඩන ලද්දෙකුට ආයු කල්පයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් යමෙකු විසින් අවශ්‍ය නම් ජීවත් විය හැකි බවයි. නමුත් මාර දිව්‍යපුත‍්‍රාවේශව සිටි අනඳ හිමියන්ට ඒ පැවසූවේ කුමක් දැයි වටහා ගැනීමට සිහිකල්පනාව නොවූයෙන් බුදුන් වහන්සේට ආයු කල්පයක් ජීවත් වීමට ආරාධනා නොකරන ලද බැවින් පසුව දිව්‍ය පුත‍්‍ර මාරයාගේ පිරිණිවක් පෑමට කරන ලද ආරාධනය බුදුන් වහන්සේ විසින් පිළිගන්නා ලදී.
මෙම නිදර්ශනය තුළින් පැහැදිළි වන යථාර්ථය තුළ පෙන්නුම් කෙරෙන්නේ යම් දැකීමක් අනුව මෙහෙවනු ලබන සිතකින් කළ හැකි විස්මිත ක‍්‍රියාවකි. නමුත් මෙආකාරම වූ විෂය දැනුමකින් යුතු වීම හෙවත් ස්වයංභු:ඥානයෙන් අවබෝධ කරන ලද ලෝක යථාර්ථයට අනුව මනාව සංවර්ධනය කරන ලද සිතකින් නව විෂය දැනුමක් භෞතික ලෝකයට දානය කිරීම සංකීර්ණ යයි අපට හැඟී ගිය ද ඉතාමත් සරල ක‍්‍රියාවලියක් බව ඒ දෙස මනාව විමර්ශනයේ දී පැහැදිළි වෙයි.