මෙහිලා පැහැදිළි කරගත යුතු කරුණු කිහිපයක් වෙයි. ජ්‍යෝතිෂය වනාහි සංස්කෘත නැතහොත් මිනිසා විසින් ගොඩනංවන ලද විෂයයකි. මෙම විෂය තුළ දර්ශනයක් සේම ප‍්‍රායෝගික භාවිතයක් ද වෙයි. දර්ශනය හා ප‍්‍රායෝගිකත්වය තුළ පැහැදිළි වෙනසක් දැකිය හැකිය. එම වෙනස ඇතිවීමෙහිලා බලපාන ලද කරුණු පිළිබඳ සමාලෝචනයක් කරගත යුතුය.
ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු වැටහීමක් සාමාන්‍ය ජනතාවට නොමැති වීම ඉන් පළමුවැන්නයි. ජ්‍යෝතිෂ පුවත් පත් ගණනාවක් රටේ දක්නට තිබුණ ද සාමාන්‍ය ජනයාගේ ජ්‍යෝතිෂය පිළිබඳ සවිඤාණිකත්වය නැතහොත් දැනුවත්භාවය ඉතාම දුර්වල මට්ටමක පැවතීම දෙවැනි කරුණයි. තෙවන කරුණ ලෙස පෙන්වා දිය හැක්කේ ජ්‍යෝතිෂ දැනුමක් යම් පමණකට ඇති පිරිස මතවාදීව හෝ වෙනත් විවිධ වූ හේතූන් බලපානු ලැබීමෙන් ඔවුන්ගේ ජ්‍යෝතිෂ දැනුම අවුල් සහගත තත්වයක පැවතීමයි.
ජ්‍යෝ්තිෂවේදීන් පිළිබඳව බැලීමේ දී නැතහොත් ජ්‍යෝතිෂයෙහි නියැලී කටයුතු කරන පිරිස දෙස බැලීමේ දී පළමුව පෙනීයන කරුණක් වන්නේ ඔවුන්ගේ ජ්‍යෝතිෂය පිළිබඳ දැනුම් මට්ටම් එකිනෙකාට වෙනස් බවය. විවිධ දැණුම් මට්ටම් තුළ පසුවන්නන් කුලකගත කරන විට පහත දැක්වෙන කුලකයන්ට ඔවුන් ඇතුළත් කළ හැකි බව පහත වෙන්රූපයෙන් පෙන්වාදිය හැකිය.
1. ජ්‍යෝතිෂ මූලික දැනුම පමණක් ඇති අය
2. ජ්‍යෝතිෂ මූලික දැනුම සහ සමාජ දැනුම ඇති අය
3. ජ්‍යෝතිෂ මූලික දැනුම සහ වෙනත් විෂයානුබද්ධ දැනුම ඇති අය
4. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති අය
5. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති සමාජ දැනුමින් පිරිපුන් අය
6. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති වෙනත් විෂයානුබද්ධ දැනුමින් පිරිපුන් අය
7. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති සමාජ සහ වෙනත් විෂයානුබද්ධ දැනුමින් පිරිපුන් අය
විවිධ වූ බුද්ධිමය තලයන් නියෝජනය කරන්නා වූ ජ්‍යෝතිෂඥයින් වෙත යොමු වන පාරිභෝගිකයන් ද එම බුද්ධිමය තලයන් නියෝජනය කරන පිරිසක් වෙයි. ඔවුන්ගේ ජ්‍යෝතිෂ අවශ්‍යතාවන් සපුරාලීම එම ජ්‍යෝතිෂඥයින් සිදු කරනු ලබන්නේ තම තමුන්ගේ විවිධ වූ බුද්ධිමට්ටම් අනුවය.
මෙහිදී සිදුවන තවත් දෙයක් ඇත. එනම් මෙම බුද්ධිමය තලයන් වටා ගොණු වන දේශපාලනික කතිකාවතක් දැකගත හැකිය. බුද්ධිමය තල හා දේශපාලනය අතර සම්බන්ධතාවක් කෙසේ නම් ඇතිවන්නේ ද කියා ඔබට ගැටළුවක් පැන නැගිය හැකිය.
එය සාධාරණය. දේශපාලනය සහ ජ්‍යෝතිෂය යන විෂයයන් දෙස එකවරම බලන විට දී කිසිදු සහ සම්බන්ධයක් නැති අංග දෙකක් ලෙස පෙනී යා හැකිය.
නැතිනම් මැතිවරණ සමයක කවර දේශපාලන පක්‍ෂයක් ජය තහවුරු කරන්නේද යන්න පිළිබඳව ප‍්‍රකාශ කරන අනාවැකියකට හෝ ඇතැම් දේශපාලනඥයෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන රාජ යෝගයක් පිළිබඳ විස්තර කෙරෙන ප‍්‍රකාශයකට පමණක් දේශපාලනය පිළිබඳ කතිකාව ජ්‍යෝතිෂය තුළ ලඝුකොට ඇත.
නමුත් ජ්‍යෝතිෂයෙහි විෂයගත දේශපාලනයක් දැකගත හැකිය. අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය (Hegemony of Confederacy) හෙවත් එක් පාර්ශවයක් විසින් දරන ආකල්පය අනෙක් පාර්ශවයන් වෙත, පාලනය කිරීමේ අදහසින් හෝ වෙනයම් මානසික රාමුවකට ඇතුළත් කිරීමේ අදහසින් කටයුතු කිරීම දේශපාලනික සංකල්පයක් බව මූලිකව පෙන්වාදිය යුතුය.
එය ජ්‍යෝතිෂය තුළ පමණක් දැකගත හැකි සුවිශේෂී දෙයක් නොව සමස්ථ සමාජයීය විද්‍යාවන් ගණයට අයත් වන්නා වූ සෑම විෂයකටම පොදු ලක්‍ෂණයකි. ජ්‍යෝතිෂය තුළ මෙම අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය යම් යම් ගුරුකුල පදනම් කර විටෙක ක‍්‍රියාත්මක වේ.
බොහෝ අවස්ථාවන්හි මෙම ගුරුකුල පදනම් කරගත් අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය ජ්‍යෝතිෂයෙහි ස්කඣත‍්‍රයෙන් තන්ත‍්‍රස්කන්ධය භාවිතය තුළ ක‍්‍රියාත්මක වන බව අපට සුලබව දැකගත හැකිය.
ලංකාවේ මෑත ඉතිහාසයේ ඉතාම මෑතක් වන තුරු ලිත්ගණිතය සම්බන්ධයෙන් පැවතියේ මෙම තත්වයයි. ඉතා ප‍්‍රසිද්ධ ලිත් අතර ‘ඈපා, ඉරණම, විද්‍යාසාර හා ලංකා පඕචාඤග ග‍්‍රහස්ඵුට’ යන ලිත් වෙයි. මෙම ලිත් ප‍්‍රකාශනය තුළ ලිත් ගණිතය පිළිබඳ ගුරුමුෂ්ඨි ඒ ඒ ගුරු පරම්පරානුයාතව පවත්වාගෙන එන ලදී. ජ්‍යෝතිෂය හදාරන එම ගුරු කුලයන්ගෙන් පරිබාහිර වූ අයෙකුට එම ලිත්ගණිතය පිළිබඳ දුරවබෝධය ලබාගැනීමට මගක් නොවීය.
පරිගණක භාවිතය සහ මුද්‍රණ විප්ලවය හේතුවෙන් අද වන විට ලිත් ප‍්‍රකාශනය ඉතාමත් සුලබ කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ලිතක් මිලදී ගැනීමට හැකි ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ජ්‍යෝතිෂඥයෙකු වීමට හොර පාරවල් විවෘතව ඇතැයි පැවසීම ශාස්ත‍්‍රයට කරන නිගාවක් ලෙස නොදකිමි.
හේතුව වන්නේ ලිත්ගණිතයේ ගැඹුරු ගණිත සූත‍්‍ර පසෙක ලා ලිතක් හා පලාඵල පැවසීමේ කෘතියක් ලංකරගත් විට ඉතාමත් පහසුවෙන් යට කී ජ්‍යෝතිෂඥයෙකු වීමට ඉතා කෙටි මඟක් විවිර වීමය. මෙය ඉතාම ලාභදායී ව්‍යාපාරයක් ලෙස ඇතමෙකු පවත්වාගෙන යයි.
නමුත් මෙම තත්වය ඉතාමත් බැ?රුම් සහගත ගැටළුවකට අපව යොමු කරවයි. ඉතාමත් ගැඹුරු ශික්‍ෂණයකින් යුතුව පළල් වූ මනසකින් හා මනැසින් දකිමින් ක්‍ෂේත‍්‍රය තුළ කටයුතු කළ යුතු වුවත් වෙළඳපල න්‍යාය මත පදනම්ව මෙසේ බිහිවන ජ්‍යෝතිෂඥයින්ගෙන් බොහෝවිට සිදුවන්නේ ක්‍ෂේත‍්‍රයේ පාරිභෝගිකයන් ක්‍ෂේත‍්‍රයෙන් ඉවත් කරලීීමයි.
ඔබට ‘ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයෙහි’ වරින් වර විවිධ වූ ශාස්ත‍්‍රහිතකාමී ශාස්ත‍්‍රවන්ත‍්‍රයන් විසින් පළ කරන ලද ලිපි ඇසුරෙන් පෙර ලංකාවේ විසූ කොත්මලේ ගණිතයා, තංගල්ලේ සිටිනාමළුවේ බරණ ගණිතයා යනාදී ජ්‍යෝතිෂඥයින් කිහිපදෙනෙකු හඳුන්වා දුන් බව ඔබට මතක ඇතැයි සිතමු.
ඔවුන් මුද්‍රිත හෝ අච්චු ගසන ලද ලිත් භාවිත කළ බවක් අසා නැත්තෙමු. අතේ ඇඟිළි පුරුක් ගණනය කිරීමෙන්, ළමයෙකු උපන්වේලාව රාත‍්‍රියේ නම් එකෙණෙහි කපන ලද කෙසෙල් ගස දළු ලා වැඩුනු ප‍්‍රමාණය මැණ බලා සෑදූ කේන්ද්‍රයේ ග‍්‍රහයින් පිහිටවීමත්, දිවා කාලයේ සිදු වූ දරු උපතක් නම් සූර්යාගේ ගමන අනුව යම් වස්තුවක සෙවනැල්ල (බොහෝ විට මේ සඳහා භාවිත කරන ලද්දේ මිනිසාගේ සෙවනැල්ල මිනිස් පියවරවලින් ගණනය කිරීමෙනි) මැණ බලා සෑදූ කේන්ද්‍රයේ ග‍්‍රහයින් පිහිටවීමත් ඔවුනට ඉතා සුළු කාර්යයක් විය. ඔවුහු තන්ත‍්‍රස්කන්ධය මත විනා අන් කිසිවෙකු මත යැපුනවුන් නොවීය.
ලිතක් මත යැපීමට සිදුවීම හා ගණක යන්ත‍්‍රයක් හෝ පරිඝනකයක් භාවිත කිරීම එක් අතකින් පහසු හා වේලාව ඉතිරිකරන මාර්ගයක් ලෙස ඇතමෙකුට පෙන්වාදිය හැකිය. එය සත්‍ය කරුණකි. අද සමාජය දෙස බැලීමේ දී කාලය රන්වලටත් වඩා වටින කාලයක් බව සනාථ කරුණකි.
ජ්‍යෝතිෂය වනාහි සාගරය බඳු වූ එකකි. තමන් ජ්‍යෝතිෂය පිළිබඳ දත් ඥාණය අබ පියල්ලකින් මැණිය හැකි දියත්තක් බව හඟිනා කෙනෙකු තරමට නිහතමානී වන අය සොයා ගැනීම ඉතාම දුර්ලභ කරුණකි.
නමුත් ඇතැම් අවස්ථාවල ගහ දන්නා අයට කොල කඩා පෙන්වීමක් ඇතැම් තැනක සිදුවීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක යට කී අධිපති මතවාදයේ නොගැලී කරුණු කාරණා සන්සන්දනාත්මකව විමසා බැලීමකට හෝ විමර්ශන බුද්ධිය දල්වා කටයුතු කිරීමට යොමුවිය හැකි නම් ජ්‍යෝතිෂය තුළ පමණක් නොව ඕනෑම සමාජයීය විෂයයක් තුළ එහි අධිපති මතවාදයට යටවීමකට ඉඩක් නොලැබේ.
එසේම තවත් විටෙක කර්මය, කර්ම ඵලය යන උභය ක‍්‍රියාවන් මත සිදුවන විශ්ව ක‍්‍රියාවලිය විශ්වීය වස්තූන්ගේ සංසරණයක් ඇසුරෙන් තෝරාගැනීම නැතහොත් විග‍්‍රහ කරගැනීම සඳහා භාවිත කරන යම් න්‍යායක් (මෙය වනාහි ජ්‍යෝතිෂ විෂය ලෙස පෙන්වාදිය හැකිය) පිළිබඳව වැරදි ආකල්පයක ගැලී කටයුතු කිරීම දැකිය හැකිය.
මෙය ද භෞතික විද්‍යාවේ දී පැහැදිළි කරන ක්වොන්ටම්වාදී (Quantum) මතවාද ඔස්සේ විඤ්ඤාණවාදී න්‍යායන් බැහැර කිරීමේ අදහසින් බටහිර ගැති ඇතැම් දේශීය බටහිර උගතුන් විසින් ගොඩනගන ලද අධිපති මතවාදයක් ලෙස පෙන්වාදිය හැකිය.
නමුත් මේ වන විට බටහිර ක්වොන්ටම්වාදී (Quantum) මතවාද තලයේ මෙම තත්වය බැහැර වී ඇති බව ශ‍්‍රී ලාංකික වෛද්‍යවරියක් විසින් ලද (Near Death Experience) මරණාසන්න අත්දැකීමක් පාදක කොට 2006 ඔක්තෝබර් මස 22 වන ඉරු දින ජාතික පුවත් පතක පළ වූ ලිපියකින් පෙන්වා දී තිබුණි.
මෙම කර්මය, කර්ම ඵලය යන සංසිද්ධීන් මුල්කරගත් අදහස ඉස්මතු කිරීමට අදහස් කරන ලද්දේ මේ තුළ පවතින දේශපාලනික ක‍්‍රියාදායම විවරණය කර ගැනීමේ අදහසිනි.
2004 මැයි මස රත්නපුරය අවට සිදු වූ මහා ජල ගැලීමත්, එම වසරේම දෙසැම්බර් මස මුහුණ දුන් සුනාමි ව්‍යසනයත් ඔබට මතක ඇතැයි සිතමු. 2005 වසරේ පකිස්ථානයේ සිදු වූ මහා භූමිකම්පාව ඔබට සිහිපත් කරමි. එසේම ඇමරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය දැවැන්ත සුලි කුණාටු තත්වයන් ද ඔබට සිහිපත් කරමු. මේ දිනවල ලංකාව, ඉන්දියාව, බංගලාදේශය හා තවත් රටවල් ගණනාවක ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලගැලීම් තත්වයන් ද සිහිපත් කරගමු.
මෙම සියළු ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දුන් මිනිසුන්ගේ ඉරණම කවර ආකාරයකට ඔවුනගේ කේන්ද්‍ර සටහන්වල ඇඳී තිබුනේද යන්න ඔබට මෙන්ම අපට ද ඇතැම් විටෙක පුදුම එළවන සුළුය.
අප බොහෝ විට කේන්ද්‍ර නැතහොත් ජන්මපත‍්‍ර වෙත යොමුවන්නේ කර්ම ඵලය අත් විඳිනා අවස්ථාවේ හෝ ඉන් පසුවයි. ඉන් පසුව පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වන අයුරින් අප කේන්ද්‍ර සටහන් තුළ යට කී කර්ම ඵලය ඔවුනට අත්විඳීමට තිබුනේ ද යන්න විමර්ශනය කිරීමට පෙළඹී සිටිමු.
ළදරු හා ශයන දශකයන් තුළ ජීවිත ගෙවන පුද්ගලයන් හැර අන් පුද්ගලයන්ට අදාළව මෙම කේන්ද්‍ර ඇසුරින් සිදු කරන පශ්චාත් මරණ පරීක්‍ෂණ හෝ රහස් පරීක්‍ෂක පරීක්‍ෂණ අදාළත්වයක් දරන්නේ සියයට 60%ක ප‍්‍රමාණයක් පමණක් බව අවධාරණය කරගත යුතුය.
ඊට හේතුව ළදරු අවධියේ හා ශයන දශකයේ ජීවිත ගෙවන පුද්ගලයන්ට චේතනාත්මකව යම් ක‍්‍රියාවක් සිදුකිරීම (චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි - බුදුරජාණන් වහන්සේ) ට ඇති හැකියාව ඉතා විරළ වීමයි.
මේ තත්වය තුළ ඉහත ආකාරයේ ව්‍යසනයක දී කටයුතු කිරීමට පෙළඹී සිටින්නේ ස්වාභාවික ව්‍යසනයන්ට ගොදුරුවීම කර්මඵලයේ ස්වභාවය අනුව සිදු වූවක් බව තහවුරු කර දැක්වීමටය. එය බොහෝ දෙනෙකු පිළිගන්නා සත්‍යක් බවට පත්ව ඇත. නමුත් යම් පිරිසක් එකට එක්ව සිදුකරනු ලබන යම් කර්මයක් වේ යයි අපි සිතමු. එයට අනුරූප විපාක ස්වාභාවික ව්‍යසන ආකාරයට ක‍්‍රියාත්මක වන බවට පන්සිය පණස් ජාතක පොතෙන් කදිම උදාහරණ ගත හැකිය.
මෙසේ ප‍්‍රකාශ කරන විට ඇතමෙකු පන්සිය පණස් ජාතක පොත බුද්ධ භාෂිතයක් නොවේ යයි පෙන්වාදීමට උත්සාහ දැරිය හැකිය. අප පන්සිය පණස් ජාතක පොත උදාහරණය වශයෙන් පෙන්වාදීමට අදහස් කරන ලද්දේ එය ඒ තුළ පවතින සමාජ විද්‍යාත්මක සමාජ චරණය තුළින් ගත හැකි උදාහරණය ඉස්මතු කොට දැක්වීමට මිස එය බුද්ධ භාෂිතයක් ද නැතහොත් ශ‍්‍රාවක භාෂිතයක් ද යන්න තහවුරු කිරීමට නොවේ.
අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය පිළිබඳ තත්වය පමණක් නොව, තවද දේශපාලනික න්‍යායයන් රැුසක් ජ්‍යෝතිෂයය තුළ ක‍්‍රියාත්මක වන බව අපට පෙන්වාදිය හැකිය. පක්‍ෂ දේශපාලනය යන්න අප බොහෝ දෙනෙකුට ඉතා සමීප සංකල්පයකි. ජ්‍යෝතිෂයෙහි මෙම පක්‍ෂ දේශපාලනය ක‍්‍රියාත්මක වනුයේ ගුරුකුල පදනම් කරගෙනය.
ප‍්‍රධාන ධාරාවන් දෙකක් මෙම ජ්‍යොතිෂයෙහි පක්‍ෂ නියෝජනයක් දරනු ලබයි. දල කේන්ද්‍ර භාවිතා කරන සහ භාව කේන්ද්‍ර භාවිතා කරන එම පක්‍ෂ දෙක බොහෝ විට පක්‍ෂග‍්‍රාහී මතවාද ක‍්‍රියාත්මක කරනු ලබයි.
මෙලෙස පක්‍ෂග‍්‍රාහී මතවාද තුළ ඇතැම් තැනක කේන්ද්‍රයේ කොටු දොළස ගණිනා දිශාව මුල්කරගෙන ද මතවාද බිහිවී ඇත. තව ද විටෙක භාව කේන්ද්‍රය තුළ ද ආරම්භ විරාම සහ මධ්‍ය සන්ධි ගණනය සම්බන්ධයෙන් මතවාද බිහිව ඇත.
එසේම ස්පුඨ ගණනයේ දී අයනාංශ ප‍්‍රමාණයන් මත සිදු කෙරෙන සායන නිරයන භේදය ද මුල්කර මතවාද බිහිව ඇත. මෙසේ අයනාංශ මුල්කර බිහිව ඇති මතවාද සායන හා නිරයන යනුවෙන් උභයතාවක් ගනු ලබන කල්හි ඒ තුළ දැකගත හැකි ප‍්‍රභේද කිහිපයක් වෙයි.
1. චිත‍්‍රපක්‍ෂ
2. රාමන්
3. ක‍්‍රිෂ්ණ මූර්ති
4. සායන හෙවත් බටහිර අයනාංශ සමග සිදුකරන ගනනය කිරීම් යනාදී සිව් ආකාර අයනාංශ භේදයක් දැකගත හැකිය. තවත් විටෙක මහා නක්‍ෂත‍්‍රය හා චූල නක්‍ෂත‍්‍රය මුල්කර සුභ මුහුර්ථ සාධනයේ දී ද විවිධ මතවාද දැකගත හැකිය.
මේ ආකාර සියළු භේද මුල් කර පක්‍ෂ දේශපාලනයක් ජ්‍යොතිෂයෙහි ක‍්‍රියාත්මක බව පැවසුවහොත් නම් ඔබ ඊට එකඟවනු ඇත.
මෙම කතිකාව සමග ඔබට එකඟවීමට හෝ නොවීමට ඉඩකඩ ඇතිබව දනිමු. එසේම මෙම කතිකාවත පිළිබඳ ඔබට අදහස් ඉදිරිපත් කරන්නේ ජ්‍යෝතිෂය න්‍යාය සහ ව්‍යවහාරය තුළ ක‍්‍රියාත්මක වන දේශපාලනික භාවිතාව පිළිබඳ ඔබේ නෙත් විවර කොට ජ්‍යෝතිෂය විෂයය දෙස විවිධ වූ දෘෂ්ඨිකෝණ ඔස්සේ විමසා බැලීමට ඔබ යොමු කිරීම සඳහාය.