Thursday, December 11, 2014

පිතෘ දෝෂ හා පිතෘ දෝෂ බලපාන ආකාරය

පිතෘ දෝෂ ඇතිවන ආකාර කිහිපයක් දැකගත හැකිය. අපගේ මුතුන්මිත්තන් අතර වූ හා අපගෙන් වෙන්ව ගිය පිය පස පිරිමි පාර්ශ්වයේ ඥාතීන් පහත දැක්වෙන හේතූන් නිසා ශාන්තිය නොලද අවස්ථාවන්හි දී ඇති කර ගනු ලබන තත්වයන් නිසා මෙසේ වූ පිතෘ දෝෂ ඇති වන බව විවිධ පුරාණ ග්‍රන්ථයන්ට අනුව පැහැදිළි කර ගත හැකිය.

1.     එකී මුතුන් මිත්තන් පූර්ව ආත්මභාවයන්හි දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද අයහපත් ක්‍රියාවන් හේතුවෙන්
2.     මුතුන් මිත්තන් කෙරෙහි දරුවන්ගේ පැත්තෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ අයහපත් ක්‍රියාවන් හේතුවෙන්
3.     මුතුන් මිත්තන්ගේ ආශාවන් දරුවන් කෙරෙන් ඉටුකරගත නොහැකි වූ අවස්ථාවන් හේතුවෙන්
4.     මුතුන් මිත්තන්ට පූර්ව ආත්මභාවයන්හි දී ඇති වූ හදිසි හා අස්වාභාවික මරණ හේතුවෙන්
5.     මුතුන් මිත්තන්ගේ දේපල හා ඇගයුම් පද්ධතීන් කෙරෙහි දරුවන් දක්වනු ලබන නොසැලකිල්ල

හත්මුතු පරම්පරාවක (පරම්පරා හතක) පියපසින් හා මව් පසින් පරම්පරා හතරක කර්ම මත පිතෘ දෝෂ ඇතිවිය හැකි බවත් ඒ හේතුකොට කුඩා කාලයේ දීම දරුවන් හදිසි හා අස්වාභාවික තත්වයන් නිසා මිය යාම සිදුවිය හැකි බවත් පුරාණ ග්‍රන්ථයන්හි දැක්වෙයි.

ඇතැම් විටෙක අපගේ මුතුන්මිත්තන් අපගේ පවුලේ ඥාතීන්ම නොවන අවස්ථාවන් ද දැකගත හැකිය. අපගේ ගුරුවරු, උපදේශකයින්, කාර්ය දර්ශකයින්, මිතුරන්, රැක බලාගන්නන් හො මොනයම් ආකාරයකින් හෝ අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට, වර්ධනයට අවශ්‍ය වන්නා වූ සම්පත් දායකත්වයෙන් පෙර භවයන්හි අප හා එක් වූවෙක් විය හැකිය. ඒ අනුව මෙහිදී පෙන්වා දෙන්නේ එම පුද්ගලයන්ගේ ජීවිත පෙරෙහි ඔවුන්ගේ දර්ශනයන් කෙරෙහි හා ඔවුන්ගේ විශ්වාස ඇගයුම් පද්ධතීන් කෙරෙහි අප වෙතින් ගෞරව දැක්වීම ඔවුහු අපේක්ෂා කරනු ලබන තත්වයක්ව පවතින බවත් ඒවා ඉටු නොවන අවස්තාවන්හි දී අප කෙරෙහි පිතෘ දෝෂ ඇතිවීමට හේතුවන බවත් කිව යුතුය.

යමෙකු පිතෘ දෝෂයකින් පෙළෙන බව අප හඳුනාගන්නේ කෙසේද?

වෛදික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඇසුරෙන් මෙය හඳුනාගත හැකිය. වෛදික ජ්‍යෝතිෂයට අනුව රවි හා සඳු ග්‍රහයින් රාහු කේතු යන ග්‍රහයින්ගෙන් පීඩාවට පත්ව තිබීම මත එය හඳුනාගත හැකිය.

රවි හා රාහු ග්‍රහයින් 9 වැන්නේ දී සම්බන්ධ වී සිටීම යමෙකු හට පිතෘ දෝෂ ඇති බව හඳුනාගැනීමට හැකියාව ඇත.
9 වැන්න පියා නියෝජනය කරයි. රවි ග්‍රහයා නිසර්ග පිතෘකාරක ග්‍රහයා වශයෙන් හඳුනාගත හැකිය. එසේම වර්ධනය, වෘද්ධත්වය, උසස්වීම් සහ ආධ්‍යාත්මික තත්වයන් සඳහා ද නිසර්ග කාරකත්වය දරන්නේ රවි ග්‍රහයාය. ඡායා ග්‍රහයෙකු වන රාහු ග්‍රහයාගේ සම්බන්ධතාවක් මත 9වැන්නේ දී රවි ග්‍රහයා පීඩාවට පත් වුවහොත් යමෙකු හට ඔහුට හෝ ඇයට තම වාසනාව ලඟාකරගැනීම ප්‍රමාද වීමට හේතු වනු ඇත. කාර්ය සාධනයේ දී ඔහුට හෝ ඇයට ඉතා දැඩි වෙහෙසක් දැරීමට හේතුවන තත්වයක් මේ අනුව ඇතිවන බව දැකගත හැකිය.

වෛදික ජ්‍යෝතිෂයට අනුව මෙබඳු තත්වයන්ගෙන් දුර්වල වූවෙකු ප්‍රථමයෙන්ම තමා කාය වචී මනෝ කර්මයන්ගෙන් සංවරව තම කර්මයන් කෙරෙහි භක්තිවන්තව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දිය යුතුය. දෙවියන් පිදීම සඳහා තෝරාගත යුතු කාල වකවානුව වන්නේ වෛදික කැලැන්ඩරයට අනුව එළැඹෙන අස්විනී මාසයෙහි එනම් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 07දක්වා වූ කාලයෙහි දී පැමිණෙන අමාවක තිථිය ලබන දිනයක දීය.

ඉදිරි ලිපියකින් සිදු කළ යුතු වතාවත් හා ක්‍රියාවන් කවරේදැයි සාකච්ඡා කරමු.

© M. M. Rohana Wasantha/ +94714161082/+94723430028

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්