Monday, February 25, 2013

සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?...ඇනෝගේ චෝදනාවට පිළිතුරක්

ප.ලි
ඇතමුන් මෙම විග්‍රහය සමග එකඟ නොවීමට ඉඩ ඇති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප විසින් බුදුදහම විකුණාගෙන ජ්‍යෝතිෂය මාර්කට් කරන බවට චෝදනාවක් එල්ලවී ඇති බව ද සඳහන් කරන අතර සත්‍යය එකක් මිස කිහිපයක් නොවන බව බුදුන් වහන්සේම දේශනා කොට ඇති බවත් යහපත් දේය කුමක් වුවත් එහි පාට, හා ලේබල කවර නම් දෙයක් කරන්නේ ද යන්න මාලුක්‍යපුත්ත භික්ෂුවට වරක් දේශනා කළ බව සිහිපත් කරමි.

යම් අසාධ්‍ය රෝගයකට දෙන බෙහෙත කවර නම් ජන්මියෙකු විසින් දෙන්නේ ද යන්න වැදගත් නොවන අතර එහි දී රෝගයට පිළියම් වශයෙන් දෙනු ලබන බෙහෙත එකී රෝගයට පත්‍යාපත්‍යතාව පමණක් වැදගත් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි.

බුදුන් වහන්සේ විසින් ජ්‍යෝතිෂය පිළිකෙව් කළා නම් ඒ මනුෂ්‍ය හැකියාවන් නිලීන කරන ජ්‍යෝතිෂය පමණි. මනුෂ්‍ය හැකියාවන් උද්ධීපණය කිරීමට බලපාන ජ්‍යෝතිෂය උන් වහන්සේ කිසිවිටෙකත් පිළිකෙව් නොකළ බව සිහිපත් කළ යුතුය. භික්ෂූන් වහන්සේලාට පවා විනයකර්ම කිරීමේ දී අවශ්‍ය වන පොහොය ලැබීමේ ගෙවීමේ දින ගණනය කර ගැනීම සඳහා ජ්‍යෝතිෂය දැන සිටීම අවශ්‍ය කරුණක් බව අනුදැන වදාරා ඇති බව සිහිපත් කළ යුතුය. එසේම කාම චරිත, මෝහ චරිත, ද්වේශ චරිත හඳුනාගැනීම සඳහා දිව්‍යමය ඥාන උපදවා ගනු නොලැබූ නායක භික්ෂුවකට තම ගෝල භික්ෂූන් වහන්සේලා හික්මවා ගැනීම සඳහා උපදෙස් දීමේ දී ඔවුන්ගේ චරිත ස්වභාවයන් හඳුනාගෙන උපදෙස් දීම සඳහා ජ්‍යෝතිෂය දැන සිටීමේ වරදක් නොවන බව පෙන්වා දිය හැකිය.

ශාසනය පිරිහීමට හේතුකාරක ක්‍රියා කරන යම් පුද්ගලයෙකු මහණ නොකිරීම ශාසනයේ උන්නතියට හේතුවන බව පෙන්වා දෙනු කැමති අතර එබඳු පුද්ගලයන්ගේ චරිත කළින් දැන, දැක ගැනීම භික්ෂුවකට ඉතාම අවශ්‍ය කරුණක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි. පන්සලට යම් කුල දරුවෙකු මහණ කිරීම සඳහා අතීතයේ භාරදෙනු ලැබූ අවස්ථාවන්හි ප්‍රථමයෙන්ම එම දරුවාගේ කේන්ද්‍ර සටහන සමගින් භාර දුන් බව අප හොඳින් දන්නා කරුණකි. පෙර ලංකාවේ විසූ වීදාගම, වෑත්තෑවේ හා තොටගමුවේ රාහුල, මුල්කිරිගල පන්සලේ පොඩි ස්වාමින් වහන්සේ වැනි ජ්‍යෝතිශ් ශාස්ත්‍රධාරී භික්ෂූන්ගේ ක්‍රියා කලාප බෞද්ධ සංස්කෘතියේ පෝෂණයට දක්වන ලද පිටිවහල දෙස බැලීමේ දී ඒ බව මොනවට සනාථ වන බව පැහැදිලි කරුණකි.

© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්