Saturday, August 25, 2012

෴ දුම්මල මාලාව෴

නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ සද්ධර්ම වර චක්කවර්තී අප තිලෝගුරු භාග්‍යවත් අර්හත් සම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වී දී දාස් වඩින්න ඕනයි අධිෂ්ඨානයක් සිතූසේක. එවිට අත්ති නම් මහා රුසියා කියන්නේ එසේ වී නම් ස්වාමීනී තමුන්නාන්සේට කවර කලෙක වත් පූජා නොකළ දෙයක් පූජා කරන්න ඕනැයි කියා දෙලක්ෂ හතලිස් දහස් උස ඇති ඝණකඩ මහා බොල් පොලව පලාගෙන ගොසින් නව ලක්ෂ අට දහස් යොදුන් උස ඇති ජල පොලව පලාගෙන ගොසින් මහකෙල නාග රජ්ජුරුවන්ගේ පෙන ගොබේ තිබුන සල් දුම්මල සත් මිටක් ගෙන අපගේ ස්වාමීන් වහන්සේ වැඩ සිටි මැණික් බැඳි වජ්‍රාසනේට පූජා කළ සල් දුම්මලයි අදත් මා මේ පුදන්නේ, ලොව්තුරු බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් එකී දුම්මල මහා බුද්ධ මාලාවෙන් ජීවම් කරමි, ජීවම් කරමී, ජීවම් කරමී, සිද්ධි සිද්ධී ඒස්වාහඃ ෴

© එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com
© M. M. Rohana Wasantha

෴ මරු යකාගේ අට කොණ ෴

ඉඳුරු දිගේ සිට මට අත වනන්නා

වඳුරු වේසයෙන් ඇවිදින් පෙනෙන්නා

විදුරු කඩුව ගෙන මගෙ සිරසට ඇන්නා

රුදුරු මරු යකා ඇවිදින් පෙනෙන්නා


උපා සොයා අග්නිය කොණ සිටින්නා

පාප කන්ඩ කට ඇරියා සිටින්නා

පාපා යම කඩුව සුරතින් දරන්නා

කපා මගෙ බෙල්ල මරුවා ලේ බොන්නා


යම දිග සිට මරු යකු අත වනාපී

කම නැති රලු කමකි ඌ මට රවාපී

තම අත තිබුන කඩුවෙන් පපුවට ඇණපී

බිම හෙළමින් පුපත් මගේ ලේ බීපී


නිරිත කොණේ සිට මරුවා බලන ර‍ඟේ

සුරත යගදාව වමතින් රැගෙන කගේ

දෙහද කර කපා කඩුවෙන් ඇණපු උගේ

කැවුතු කැටිය කනවා මරු යකා ම‍ගේ


ඇවිදින් වයඹ කොණ මරු යකු සිටින්නේ

සුරතින් කඩුව ගෙන අමුසොහොනට යන්නේ

සරොසින් හරු යකා මට කඩුවෙන් ඇන්නේ

විගසින් ඇවිත් දෙකඩව මගෙ ලේ බොන්නේ


කන්ඩ මිණීසවුමේ පුර සිටින ර‍ඟේ

බොන්ඩ රීරි බිල්ලක් අත දරාගේ

ඉන්ඩ නොදී මරු යකු වද කරන ර‍ඟේ

කෙණ්ඩ පතුළ කනවා මරු යකා මගේ


ඊසාන් මරු යකු ඇවිදින් සිටිපී

ගසා මරු හඩක් අත්පොසන් දීපී

ගසා යමගුරෙන් ඌ මට වද කරපී

ලසා නොව ඇවිත් පදපතුලෙ ලේ බීපී


සක්වල ගල උඩට ඇවිත් මරු යකු මට අත වනපී

එක් අතකින් මිනියක් ගෙන බෙල්ල කඩා ලේ උරපී

දත් මිටි කන්නා ඉලව්වෙ නෙත් රතු කර බලාපී

දික් කර අත මට අනින්ඩ කඩුවක් ගෙන උරුක්කරපී


රොහොස් වෙලා ගොස් ඒ යකු අහස්තලේ ඉන්නා

අහස් වලාවෙන් ඇවිදින් මෙසක්වලට පැන්නා

දහස් ගණන් ගිණි ජාලා කටින් විහිදුවන්නා

දෙඇස් මගේ උපුට කන්ඩ හෙල්ල තලෙන් ඇන්නා


නපුරු මරු හඩක් ගසමින් අමු සොහොනට ආවා

උරිරු බොන්න මිනියක් ගෙන අන්න බෙල්ල කැඩුවා

විදුරු කඩුව අරන් අතට මා කපන්ඩ හැදුවා

කුරිරු මරු යකු අර ගං ඉම ළඟ එවනා


හපා කන්ඩ කට බලියා සොහොන ළඟට යන්නා

කපා කන්ඩ මිනී මාලු කඩුව අරන් ඉන්නා

එපා කියද්දී ඇවිදින් කඩුවෙන් මට ඇන්නා

අපොල් ඉලව්වෙයි මරු යකු කඩුල්ල මුල ඉන්නා


සැනෙකින් යති අමු සොහොනට මිනී කන්ඩ නිතරේ

රුදුවන් මරු හඩක් ගසා එන්නා යකු මෙවරේ

ඉතිකින් මොහු මිනී මරයි සිටගෙන ගන අඳුරේ

ඇවිදින් මරු යකා මෙන්න පාය පාමුල පැදුරේ


විකයි අල්ලගෙන මිනියක් බලා ඉන්න බැරුවා

සැකයි ඉන්න මුගෙ අවගති දුටුවම බය වෙනවා

කපයි බෙල්ල කඩුවක් ගෙන ළඟටම ළං වෙනවා

අපොල් ඔන්න හත් ඉලව්වේ මරු යකු මා මැරුවා


සොහොන් දණ්ඩ දිගට තියා තුන් පලකින් බැඳලා

අරන් යන්ඩ අමු සොහොනට දෙන්නෙක් කර ගහලා

වරෙන් යන්ඩ අමු සොහොනට ආතුර අත් හැරලා

ඉතින් මෙන්න බාරයි මා ආතුර අත් හැරලා


අඩාදොඩා අරගෙන ගොස් දාපල්ලා අමු සොහොනට

ලෙඩාට බුදු ගුණ පිහිටයි බැඳපල්ලා පිරිත් හුයට

වඩා මෙතන රැක නොසිටින් සිටියොත් දෙනවා තද බැට

ලෙඩා නමට මා බිලිගෙන ලෙඩ කළ මරු යකුනි තොපට


අඩමොරගා අරගෙන ගොස් අමු සොහොනට දාපල්ලා

ලෙඩාට බුදු ගුණ පිහිටයි පිරිත් හුයට බැඳපල්ලා

දිව බල ‍අපෙ මුණි උතුමන් අණසක සිහි කරපල්ලා

ලෙඩ ආතුර හට විගසින් පිරිත් නූල් බැඳපල්ලා


මරු යකාගේ අටකොණ සහ මේ කවි පෙළ වලදැරහැවේ සබරගමුවේ ඉපැරණි කඩතුරා හැරීමේ ක්‍රමයක් වශයෙන් අප්‍රචලිතව පැවත එයි.

© M. M. Rohana Wasantha

෴ යක්ෂ දෝෂ නිවාරණයට යාතුකර්ම විධීන් කිරීමේ දී කඩතුරාව හරින අන්දම ෴

වමත පන්දම දරා - දකුණ දුම්මල මතුරා

හරවමින් කඩතුරා - පිදේනි දක්වා එහිම සෙත් කරා


බෝධිය සත්තෙන් පා දහම් සෙත්පුරා - සෑසී තිලෝනා

සුගත්බෝධිය මුල වැඩ හිඳ මුරා පස් මරුන් - ලොව සෙත් කළා නම් යමෙක්


නාදිය දම් සඟු තුනුරුවන් තේජසින් මේ යක් පිසස් දුරහැරා

මේ විදි ලෙස මෙපිදේනි සරහා දැක්කුමෙන් - සෙත් කර හරින් කඩතුරා


උප ගත වූ උරුවෙල් දනව්වත් සයත් - හික්මන් සුජාතා ළඳුන්

කැප කර කිරි පිසූ වළඳමින් - මුනි තුමන් මුලදී මැරූ පස් මරුන්


අප සනරාමර ලෝ දිවාකර සියල් - දක්ෂකම් බුදුන්ගේ තේජසින්

ලොබ කර උවදුරු කඩතිර හැර යෙහෙන් - සෙත්කර හරින් කඩතිරා


ජටිල ජටිල කේෂාම් ලම්බ හස්ත්‍රං තිනේත්‍රං

කරක ලිතක පාල සූල පාසා කුසං ච

පුනරපිකර චත්‍රං කර්ග වේතාල ඝංඨං

සුනකමය වස්ත්‍රං - සිවවටුක යංත්‍රං - පැවත විෂ්ණූය හංත්‍රං


ඕං ශ්‍රීං ශ්‍රීං ශ්‍රීං ජං ජං ජර්ග රූපාන් දිං දිං දීර්ඝ රූපාන් දිසි වර්ග රූපාන් භූමි කම්පාය මානාං සං දීර්ඝ කොට වෙස්සන්තරාව ගුරු මීන රේවතිය නක්ෂත්‍ර ජල රාක්ෂයාට දා ව ආවා වූ යම් යක්ෂ රාක්ෂ භූත ප්‍රේතාදී කෙනෙක් ඇත්නම් වීර්යයෙන් කාර්යය සිද්ධ ‍කර දෙන්නා වූ සූර්ය දිව්‍ය රාජයා මස්තකයෙන් මෙම ශ්‍රී ලංකාද්වීපයට උදා වෙන්න පළමුවෙන් රං දොරේ - රිදී දොරේ - මුතු දොරේ - මැණික් දොරේ මෙසේ සිව් කවුලු දොරවල් ඉඩහරවා සක්වල දස දහසක් ඝණාන්ධකාර පිණිබින්දු විහත විද්වංසනය කරමින් මෙම සැන්දෑ සමයමේ නෙර්තය දක්වන්නට බැඳි යක්ෂ කඩතුරාව මුදාගන්න හොඳයි - පස්වාන් දහසක් - /// පස්වාන් දහසකට ආයු බොහෝ ‍වේවයි, බොහෝ වේවා ////


© M. M. Rohana Wasantha, එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com

නව ග්‍රහයින්ගේ සත් විසි සමය ගැන ගැනීමට පහසු කරවන චක්‍රයක් හා සත් විසි සමය පලාඵල ...

නව ග්‍රහයින්ගේ සත් විසි සමය ගැන ගැනීමට පහසු කරවන චක්‍රයක් එක්සෙල් ගොණුවක් ලෙසින් මෙහි දක්වා ඇති අතර එය බාගත කොට ඔබේ කේන්ද්‍රයේ ඒ ඒ ග්‍රහයින් කවර නම් සමයක සිටිනවාදැයි දැනගන්න. එහි රතු පාටින් දැක්වෙන කොටු තුළ පමණක් අදාළ අගයන් යොදා ගණනය කිරීම් කරන්න.

01 ස්නාන සමය

මධ්‍යම සුභඵල දෙන වකවානුවක් වශයෙන් දැක්විය හැකි අතර සෑම අංශයකම එකී මැදිහත් භාවය දැකගත හැකිය.

02 ගන්ධාලංකාර සමය

ඉතා යහපත් සුභඵල දැකගත හැකි වකවානුවක් ලෙස මෙය සඳහන් කළ හැකිය. මූලික මිනිස් අවශ්‍යතාවන් පරයා ද්විතීයික අවශ්‍යතා පූරණය කිරීමෙහිලා අගනා බලපෑමක් මෙහි දී ඇති කරයි.සුභ ග්‍රහයෙකු නම් යහපත් දේ වර්ධනය කරවීමත් පාප ග්‍රහයෙකුගේ තත්වයක් නම් එය කාමාශාවන් කෙරෙහි නැඹුරුතාවක් ඇති කිරීමත් මෙහි දී දැකගත හැකිය.

03 චන්දනාලේප සමය

අතිශයින් සුභඵල දායක තත්වයක් ලෙස දැක්විය හැකිය. උසස් අධ්‍යාපනාදී තත්වයන් විදෙස් සංචාර ගත ප්‍රතිලාභ, මෙන්ම ධන ලාභ, රාජ්‍ය හා ප්‍රභූ ආධාර, ලැබීමත් සුභ ග්‍රහ තත්වයක් යටතේ පොදු යහපතත් පාප ග්‍රහ තත්වයක් යටතේ ආත්මාර්ථකාමී ස්වභාවය වර්ධනය වීමත් දැකගත හැකිය.

04 ශිවනුෂ්ඨාන සමය

මධ්‍යම ස්වභා‍වයේ ඵල දෙන තත්වයකි. පුද පූජා පැවැත්වීමට යහපත් අතර සතුරු දමනයට යහපත් අතර සතුරන්ට තදින් පහර දීමට යොමු වන තත්වයක් දැකගත හැකි වෙයි.

05 ශිව පූන සමය

මිශ්‍ර ඵල ඇති කරවයි. වැඩි වශයෙන් අසුභ ඵල ඇති කරවීමට සමත් වෙයි.විවිධ රෝග තත්වයන් වර්ධනය වීමට ද බලපානු ලබයි. සුභ ග්‍රහ තත්වයක් යටතේ කණස්සල්ල වර්ධනය කරන අතර පාප ග්‍රහ තත්වයක් යටතේ ශරීර ගතව තුවාල වණ කැළැල් ඇති කරවීමට සමත් වේ.

06 අග්නිකාර සමය

අසුභ විපාක ඇති කරවයි. ධන හානි, දේපල හානි, සොර සතුරු උපද්‍රව ඇති කරවීමට හේතු වෙයි.‍ මෙම තත්වයේ දී සියළු ග්‍රහයින් අනිටු ඵල පමණක් ගෙන දෙයි.

07 විෂ්ණු පූජා සමය

මිශ්‍රඵල ඇති කරවයි.උත්සාහය මත පමණක් මෙකල්හි දී දියුණුව ගෙන දෙයි. සිතේ අසහනය ඇති කරවන අතර සුභ හා පාප ග්‍රහයින් දෙපිරිසම ‍එක ලෙසින් ක්‍රියාත්මක වන අවස්ථාවකි.

08 බ්‍රහ්ම පූජා සමය

මධ්‍යස්ථ ඵල දායී ලෙස සියළු කරුණු සඳහා යහපත් බව කිව හැකි මුත්ආදායම් වැඩිවනවා සේම අධික ලෙස වියදම් දැරීමට ද සිදුවන තත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.සුභ ග්‍රහ තත්වයන් යටතේ යහපත් දේ සම්පාදනය කරවා දෙන අතර පාප ග්‍රහ තත්වයන් යටතේ අනුන් පීඩාවට පත් කරවා වාසි අත් කර දෙයි.

09 නමස්කාර සමය

දීර්ඝායුෂ ගෙන දීමට මෙම තත්වයේ පසුවන ග්‍රහයා සමත් වෙයි. ධනය, බලය, ප්‍රසිද්ධිය වර්ධනය කර දෙන අතර සතුරු බල නසා සුභ ග්‍රහ තත්වයන් යටතේ මිතුරන් ඇති කර දෙන අතර පාප ග්‍රහ තත්වයන් යටතේ දැසි දසුන් ඇති කර දෙයි.

10 ප්‍රදක්ෂිණා සමය

සියලු දෑ අස්ථිර බව චංචල බව පසක් කරන තත්වයක් ලෙස දැක්විය හැකිය. සුභ ග්‍රහ තත්වයන් යටතේ ශාරීරික පීඩාවන් ද ලෙඩ රෝග ද ඇති කරන අතර පාප ග්‍රහයින් සැත්කම් හා අනතුරු ඇති කරවයි. අරමුණු රහිතව හිස් හැරුන අත ඇවිද්දවීමට යොමු කරවයි.

11 වෛශ්වදේව සමය

මධ්‍යස්ථ ඵල ඇති කරන තත්වයක් වන අතර මිත්‍ර සබඳතා, දේශපාලන සබඳතා පළුදු කරන තත්වයක් දැක ගත හැකිය. තමන්ට තරඟකරුවන් ඇති වේ. උත්සාහය මත පමණක් යම් සහනයක් ඇති කර ගත හැකි අතර පාප මිත්‍ර සේවනයට යොමු කරවයි.

12 අතීත පූජා සමය

ආත්මාර්ථකාමීත්වයට යොමු කරවයි. කවර හෝ මාර්ගයකින් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට යොමු කරවන තත්වයක් මෙකී තත්වය යටතේ දැක ගත හැකිය. වංචා රැවටිලි ආදී පාප ක්‍රියාවන්ට යොමු කරවයි. සුභ ග්‍රහ තත්වයන් යටතේ ගුප්ත විද්‍යාවන් සරණ යාම දැකගත හැකිය. පාප ග්‍රහයින් යටතේ නිධන් සෙවීමත් සොරකමේ යෙදීමත් දැකගත හැකිය.

13 භෝජන සමය

කෑදර වන අතරම අන් සත ‍දෑ තමන් සතු කර ගැනීමට යොමු වෙයි. වාත රෝගාබාධ ඇති කරවයි. පාප ග්‍රහ තත්වයන් යටතේ කොල්ලකෑම් වැනි දෑට යොමු කරවයි.

14 විද්‍යා ප්‍රසංග සමය

අසුභ ඵල ඇති කරවන තත්වයක් වශයෙන් දැක්විය හැකිය. සංවර බව ගිළිහී යයි. වචනය පාලනයෙන් තොරව භාවිත කරයි. අනුන් පීඩාවට පත් කොට සතුටු වන තත්වයන් දැකගත හැකිය. සුභ ග්‍රහ තත්වයන් යටතේ පහත් සිරිත් විරිත්වලට යොමු වෙයි. පර පණ නැසීම සිදු වන්නේ පාප ග්‍රහ තත්වයන් යටතේය.

15 කෝප සමය

මනෝ ව්‍යාධි තත්වයන් ඇති කරවීමට සමත් වන්නේ මෙම තත්වයයි. සුභ අසුභ කවර නම් ග්‍රහයෙකු වුවත් එම ග්‍රහයින්ගේ තත්වයන් පරයා මෙම විකල තත්වයන් ඉස්මතු කරවයි. දුක් කම් කටොළු ඇති කරවයි.

16 තාම්බූල භක්ෂණ සමය

සුභ ඵල ඇති කරන තත්වයකි. ප්‍රතිපත්ති රැකීමට යොමු වේ. නිවැරදි තීරණ වලට යොමු වෙයි. ජීවිතයේ ඇතිවන ගැටළු විසඳාගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙයි. කවර ග්‍රහයෙකු යටතේ වුව ද මෙම තත්වයේ දී සමාජයේ හෙඳ නම රැකගෙන කටයුතු කිරීමට අවශය පරිසරය සකසා ගත හැකි වෙයි.

17 රාජ සමය

ප්‍රසිද්ධිය, ධනය සහ බලය ඇති කරවයි. පාප ග්‍රහ තත්වයක් යටතේ වෙසමුණි කුවේර බඳු ධන, බල ඇති කරවයි.

18 කිරීට ධාරණ සමය

බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගත හැකි වෙයි. තම වචනයට පිටින් කිසිවෙකුට කටයුතු කිරීමට ඉට නොතබන්නේ මෙම තත්වය යටතේය. සුභ ග්‍රහයින් සතුරන් මිතුරු කර දෙන අතර පාප ග්‍රහයින් සතුරන් වනසා දමයි. නායකත්වය සඳහා සහජ හැකියාවන් ඉස්මතු කරවන්නේ මෙම තත්වය යටතේය.

19 ජල පාන සමය

මධ්‍යම ඵල ඇති කරවයි. නමුත් අසුභ ඵල වැඩි කරවීමට සමත් වෙයි. සෙම් රෝග මෙන්ම බෝවන රෝග ද ඇති වන්නේ මෙම තත්වයන් යටතේය. පාප ග්‍රහ තත්වයන් යටතේ ලේ සෙළවීමට හේතු ඇති කරවයි.

20 ආලිංගන සමය

යහපත් නැත. මනෝ ව්‍යාධීන් ඇති කරවයි. වැඩ කටයුතු ඕනෑ කමින් අතපසු කරවයි. සෑම ග්‍රහයින්ම මෙම තත්වය යටතේ අළස ගති පෙන්වයි. රැකියාවන් පවා අහිමි කරවීමට හේතු ඇති කරවයි.

21 සයන සමය

අසුභ ඵල ගෙන දේ. මනෝ ව්‍යාධීන් ඇති කරයි. මතකය දුර්වලය, හීනමානය ඇති කරයි. යක්ෂ භූත බන්ධනාදියට නතු වෙයි.

22 අමෘත පාන සමය

සුභ ඵල ඇති කරවයි. සියල්ල නොමිලයේම ලැබෙන අතර ධනය, නිලතල ආදිය ලබා දෙමින් පාප ග්‍රහයින් පෙරමුණේ ගමන් යයි.

23 මදනාලංකාර සමය

ඉක්මන් විවාහයක් කර දෙයි. ස්ත්‍රී ඇසුර හා පෙම්හබ සඳහා නම යන්නේ මෙම තත්වයේ පසුවන ග්‍රහයින් කරණකොට ගෙන වන අතර සුභයින් යහපත් විවාහයකට අත දෙන අතරම පාප ග්‍රහයින් කාම නැඹුරුතාවය වැඩි කරවයි.

24 ලීලං සමය

සුභඵල ඇති කරවයි. ධන, වස්තු ගෙන දේ. හදිසි ධන ලාභ ඇති කරවයි.

25 රති ක්‍රීඩා සමය

අසුභය. තත්වයට නොගැළපෙන සේ ක්‍රියා කිරීමට යොමු කරවයි. වි‍රෝධතා ඇති කර ගනී. නින්දා අපහාස, හා අඩදබර ඇති කර ගැනීමට යොමු කරවයි. රජ වුවත් බලු වන තැනට කටයුතු යෙදෙයි.

26 නිද්‍රා සමය

යහපත් නැත. සියළු බලාපොරොත්තු සං වන තැනට කටයුතු යෙදෙයි. සිය දිවි හානි කර ගැනීමට යොමු කරවන්නේ මෙම තත්වයයි.

27 රංග සේනා සමය

දුෂ්චරිතවත් කරවයි. පහත් ආශාවන්ට ගොදුරු වී කටයුතු කරයි. ආධ්‍යාත්මික පරිහානිය සමග මත් පැන් ලෝලත්වය ඇති වෙයි. සූදුවට, කාන්තාවන්ට යොමු කර පිරිහීම ඇති කරවයි.



© M. M. Rohana Wasantha - 0714161082/0723430028 wasantha2010@gmail.com

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්