Saturday, August 25, 2012

෴ මරු යකාගේ අට කොණ ෴

ඉඳුරු දිගේ සිට මට අත වනන්නා

වඳුරු වේසයෙන් ඇවිදින් පෙනෙන්නා

විදුරු කඩුව ගෙන මගෙ සිරසට ඇන්නා

රුදුරු මරු යකා ඇවිදින් පෙනෙන්නා


උපා සොයා අග්නිය කොණ සිටින්නා

පාප කන්ඩ කට ඇරියා සිටින්නා

පාපා යම කඩුව සුරතින් දරන්නා

කපා මගෙ බෙල්ල මරුවා ලේ බොන්නා


යම දිග සිට මරු යකු අත වනාපී

කම නැති රලු කමකි ඌ මට රවාපී

තම අත තිබුන කඩුවෙන් පපුවට ඇණපී

බිම හෙළමින් පුපත් මගේ ලේ බීපී


නිරිත කොණේ සිට මරුවා බලන ර‍ඟේ

සුරත යගදාව වමතින් රැගෙන කගේ

දෙහද කර කපා කඩුවෙන් ඇණපු උගේ

කැවුතු කැටිය කනවා මරු යකා ම‍ගේ


ඇවිදින් වයඹ කොණ මරු යකු සිටින්නේ

සුරතින් කඩුව ගෙන අමුසොහොනට යන්නේ

සරොසින් හරු යකා මට කඩුවෙන් ඇන්නේ

විගසින් ඇවිත් දෙකඩව මගෙ ලේ බොන්නේ


කන්ඩ මිණීසවුමේ පුර සිටින ර‍ඟේ

බොන්ඩ රීරි බිල්ලක් අත දරාගේ

ඉන්ඩ නොදී මරු යකු වද කරන ර‍ඟේ

කෙණ්ඩ පතුළ කනවා මරු යකා මගේ


ඊසාන් මරු යකු ඇවිදින් සිටිපී

ගසා මරු හඩක් අත්පොසන් දීපී

ගසා යමගුරෙන් ඌ මට වද කරපී

ලසා නොව ඇවිත් පදපතුලෙ ලේ බීපී


සක්වල ගල උඩට ඇවිත් මරු යකු මට අත වනපී

එක් අතකින් මිනියක් ගෙන බෙල්ල කඩා ලේ උරපී

දත් මිටි කන්නා ඉලව්වෙ නෙත් රතු කර බලාපී

දික් කර අත මට අනින්ඩ කඩුවක් ගෙන උරුක්කරපී


රොහොස් වෙලා ගොස් ඒ යකු අහස්තලේ ඉන්නා

අහස් වලාවෙන් ඇවිදින් මෙසක්වලට පැන්නා

දහස් ගණන් ගිණි ජාලා කටින් විහිදුවන්නා

දෙඇස් මගේ උපුට කන්ඩ හෙල්ල තලෙන් ඇන්නා


නපුරු මරු හඩක් ගසමින් අමු සොහොනට ආවා

උරිරු බොන්න මිනියක් ගෙන අන්න බෙල්ල කැඩුවා

විදුරු කඩුව අරන් අතට මා කපන්ඩ හැදුවා

කුරිරු මරු යකු අර ගං ඉම ළඟ එවනා


හපා කන්ඩ කට බලියා සොහොන ළඟට යන්නා

කපා කන්ඩ මිනී මාලු කඩුව අරන් ඉන්නා

එපා කියද්දී ඇවිදින් කඩුවෙන් මට ඇන්නා

අපොල් ඉලව්වෙයි මරු යකු කඩුල්ල මුල ඉන්නා


සැනෙකින් යති අමු සොහොනට මිනී කන්ඩ නිතරේ

රුදුවන් මරු හඩක් ගසා එන්නා යකු මෙවරේ

ඉතිකින් මොහු මිනී මරයි සිටගෙන ගන අඳුරේ

ඇවිදින් මරු යකා මෙන්න පාය පාමුල පැදුරේ


විකයි අල්ලගෙන මිනියක් බලා ඉන්න බැරුවා

සැකයි ඉන්න මුගෙ අවගති දුටුවම බය වෙනවා

කපයි බෙල්ල කඩුවක් ගෙන ළඟටම ළං වෙනවා

අපොල් ඔන්න හත් ඉලව්වේ මරු යකු මා මැරුවා


සොහොන් දණ්ඩ දිගට තියා තුන් පලකින් බැඳලා

අරන් යන්ඩ අමු සොහොනට දෙන්නෙක් කර ගහලා

වරෙන් යන්ඩ අමු සොහොනට ආතුර අත් හැරලා

ඉතින් මෙන්න බාරයි මා ආතුර අත් හැරලා


අඩාදොඩා අරගෙන ගොස් දාපල්ලා අමු සොහොනට

ලෙඩාට බුදු ගුණ පිහිටයි බැඳපල්ලා පිරිත් හුයට

වඩා මෙතන රැක නොසිටින් සිටියොත් දෙනවා තද බැට

ලෙඩා නමට මා බිලිගෙන ලෙඩ කළ මරු යකුනි තොපට


අඩමොරගා අරගෙන ගොස් අමු සොහොනට දාපල්ලා

ලෙඩාට බුදු ගුණ පිහිටයි පිරිත් හුයට බැඳපල්ලා

දිව බල ‍අපෙ මුණි උතුමන් අණසක සිහි කරපල්ලා

ලෙඩ ආතුර හට විගසින් පිරිත් නූල් බැඳපල්ලා


මරු යකාගේ අටකොණ සහ මේ කවි පෙළ වලදැරහැවේ සබරගමුවේ ඉපැරණි කඩතුරා හැරීමේ ක්‍රමයක් වශයෙන් අප්‍රචලිතව පැවත එයි.

© M. M. Rohana Wasantha

1 comment:

  1. මේ වගේ පාරම්පරික ශාන්ති කර්ම විදි අපට අද අඩුවෙන් දැකීමට ලැබීම අවාසනාවක්.වීඩියෝ තිබේනම් දාන්නකෝ.....

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්