Tuesday, March 23, 2010

ග‍්‍රහ අපල හා බලි ශාන්තිකර්ම

විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන ඇතැම් විෂය ධාරාවන් දෙස බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් ඇත. ඉන් පළමු කරුණ නම්, පදනම් විෂය බැහැරක තබා අනු විෂයයක් ප‍්‍රධාන ධාරාවක් වශයෙන් ගෙන කරනු ලබන ඉගැන්වීමයි. නමුත් ඊට ද සාධාරණ හේතු දැක්විය හැකිය. ඒ නම්, අනු විෂය ධාරාව තවත් ප‍්‍රධාන විය ධාරාවක අනු විෂයයක් වශයෙන් පැවතීමයි. 

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ ක‍්‍රියාත්මක බලි ශාන්තිකර්මය නැමති විෂය උදාහරණයක් වශයෙන් ගත හොත් එය උඩරට, පහතරට හා සබරගමු යන නර්තන විෂය ධාරාවේ ශාන්තිකර්ම කොටසට අයත් විෂයයක් වශයෙන් ක‍්‍රියාත්මක වීම නිසා එය වෙනමම විෂය ධාරාවක් වශයෙන් එහි ක‍්‍රියාත්මක වෙයි. 

නමුත් මෙහි පවතින මූල සත්තාව දෙස බැලීමේ දී පෙනී යන කරුණක් ඇත. ස්වභාව විද්‍යාව නැතහොත් ස්වභාව ධර්මයෙහි පවතින පුද්ගල කර්ම ශක්තිය මත ඊට අනුරූප වන විපාකයන් පුද්ගලයාට බලපාන කාල වකවානු විශ්වයේ පවතින ග‍්‍රහ වස්තූන්ගේ නාමයන් අනුව හඳුනාගැනීමට ජ්‍යොතිෂ විෂයයෙන් පිටිවහලක් ලැබෙයි. ඒවා නව ග‍්‍රහයින් යනුවෙන් පෙන්වා ඇති අතර එම නව ග‍්‍රහයින් මෙසේය. 
1. රවි 
2. චන්ද්‍ර
3. කුජ 
4. බුධ 
5. ගුරු 
6. ශුක‍්‍ර 
7. ශනි 
8. රාහු 
9. කේතු යනුවෙන් දක්වා ඇත. 

නමුත් පුද්ගල කර්ම ශක්තිය මත ඊට අනුරූප වන විපාකයන් පුද්ගලයාට බලපාන කාල වකවානු මැණ ගැනීමේ දී පුද්ගලයාට මෙම නව ග‍්‍රහයින් බලපානු ලබන ආකාරය විවිධය. එහි දී විංශෝත්තරී මහ දශා අනුරූප වන ආකාරයට කරන ලබන වර්ගීකරයක් දැකගත හැකිය. මෙම විංශෝත්තරී මහ දශා වර්ගීකරණයේ දී නව ග‍්‍රහයින්ගේ අනුපිළිවෙල මදක් වෙනස් අයුරින් දක්වා ඇත. 


1. රවි වර්ෂ 06 
2. චන්ද්‍ර වර්ෂ 10 
3. කුජ වර්ෂ 07 
4. රාහු වර්ෂ 18 
5. ගුරු වර්ෂ 16 
6. ශනි වර්ෂ 19 
7. බුධ වර්ෂ 17 
8. කේතු වර්ෂ 07 
9. ශුක‍්‍ර වර්ෂ 20 
එකතුව වර්ෂ 120 

පුද්ගලයාගේ පරම ආයුෂ වර්ෂ 120ක් වන අයුරින් සකස් කොට ඇති මෙම වර්ගීකරණයෙහි දී ඒ ඒ ග‍්‍රහයින්ගේ දශා කාලයන්හි මුල මැද අග යන කාලවල දී ඒ ඒ ග‍්‍රහයින්ගේ උප්පත්ති කේන්ද්‍රයේ තැන්පත් වූ රාව්‍යාදී නව ග‍්‍රහයින්ගේ බල දුබලතා අනුව මෙම ත‍්‍රිකාලයන්හි අපල ඇති වෙත්. 

මෙසේ ඇතිවන අපල දුරු කර ගැනීම සඳහා පැරණි සෘෂි ක‍්‍රමවේදයන්ට අනුව සකස් කරන ලද බලි ශාන්තිකර්ම රැසක් ගෙනහැර දක්වා ඇත. පුද්ගල කර්ම ශක්තිය මත ඊට අනුරූප වන විපාකයන් පුද්ගලයාට බලපාන කාල වකවානු මැණ ගැනීමේ දී පුද්ගලයාට මෙම නව ග‍්‍රහයින් බලපානු ලබන ආකාරය අනුව මෙම බලි ශාන්තිකර්ම මොනවාදැයි තොරාගැනීම මනා ප‍්‍රාගුණ්‍යයෙන් යුතු බලි ඇදුරා සමත් වෙයි. 

පුරාතනයෙහි බලි ඇදුරන් ජ්‍යොතිෂය, වෙදකම, මන්ත‍්‍ර ශාන්ත‍්‍රය, කාව්‍යකරණය, ශාන්තිකර්ම හා ශාන්තිකර්මයන් සිදු කිරීමේ දී අනුගමනය කරන නර්තනය ආදී හසල ශිල්ප රැුසක් දැන සිටි වියත් පිරිසක් වශයෙන් කටයුතු කරන ලදී. 

අද අවාසනාවකට මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරගෙන යනු ලබන විෂය විශේෂීකරණ පිළිවෙත් හේතුවෙන් මෙම විෂයයන් එකිනෙකට වෙනස් හා එකිනෙකට කිසිදු සබඳතාවන්ගෙන් තොර හුදකලා විෂය ධාරාවන් බවට පත් වී ඇත. නමුත් උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ශාස්ත‍්‍රීය විෂය පර්යේෂණාගාරයක් වන විශ්වවිද්‍යාලය තුළ මෙම තත්වය සකසාගැනීමට වෙර දරන බවක් පෙනීම ශාස්ත‍්‍ර උන්නතිකාමී ශාස්ත‍්‍රඥයින්ගේ පැසසුමට ලක්වන කරුණක් හැටියට පෙන්වාදිය හැකිය. 

ඉහත පෙන්වාදුන් ආකාරයෙන් පුද්ගල කර්ම ශක්තියේ අනුරූප විපාක හා ඒවා බලපාන කාලවකවානු අනුව සැකසී ඇති ග‍්‍රහ බල දුබලතා මත ඇතිවන අපල දුරු කර ගැනීම සඳහා පැරණි සෘෂි ක‍්‍රමවේදයන්ට අනුව සකස් කරන ලද බලි ශාන්තිකර්ම මෙසේ පෙන්වාදිය හැකිය. නමුත් ”ශාන්ති ප‍්‍රදීප” නම් වූ කෘතියෙහි මීට මදක් වෙනස් ආකාරයට බලි නියමය දක්වා තිබේ. 

1. රවි වර්ෂ 06 
අපල ඇති කරන අමනුෂ්‍යයින් ත‍්‍රිභුවන යක්‍ෂයා, ඕං කාලි යක්‍ෂණී
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා සිරිකොත් බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය
  • අග කොටසේ ඇතිවන අපල සඳහා අභය කළ්‍යාණ බලිය 
2. චන්ද්‍ර වර්ෂ 10 
අපල ඇති කරන අමනුෂ්‍යයින් වජ‍්‍ර යක්‍ෂයා, ෙභෙරව කාලි යක්‍ෂයා 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා කාලමෘත්‍යු බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා ශාන්ති මංගල බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා ශුභ මංගල බලිය 

3. කුජ වර්ෂ 07 
අපල ඇති කරන අමනුෂ්‍යයින් භූත යක්‍ෂයා, සෝනදන්ත යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා භූම නාග බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා මහසොප් මංගල බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා මේෂ රකුසු බලිය 

4. රාහු වර්ෂ 18 අපල ඇති කරන අමනුෂ්‍යයින් අසුර යක්‍ෂයා, අසුර කාලි යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා අසුරගිරි රාක්‍ෂ බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා නාග රාක්‍ෂ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා සුට රකුසු බලිය 

5. ගුරු වර්ෂ 16 
අපල ඇති කරන අමනුෂ්‍යයින් අභිමාන යක්‍ෂයා, නීලකණ්ඨී යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා අභය කළ්‍යාණ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා විෂ්ණු රූප බලිය 

6. ශනි වර්ෂ 19 
අපල ඇති කරන අමනුෂ්‍යයින් අවර යක්‍ෂයා, අවරගිරි යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා දශ ක්‍රෝධ බලිය බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා නිළඟ රාක්‍ෂ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා ගෞඩි රාක්‍ෂ බලිය 

7. බුධ වර්ෂ 17 
අපල ඇති කරන අමනුෂ්‍යයින් බඹ යක්‍ෂයා, ගිණිකණ්ඨී යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා පඤ්චයන්ත‍්‍ර බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා දේව කළ්‍යාණ බලිය 

8. කේතු වර්ෂ 07 
අපල ඇති කරන අමනුෂ්‍යයින් භද්‍රා යක්‍ෂයා, භද්‍රකාලි යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා බ‍්‍රහ්මරූප බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා පක්‍ෂුවන් රාක්‍ෂ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා නිළඟ රාක්‍ෂ බලිය 

9. ශුක‍්‍ර වර්ෂ 20 
අපල ඇති කරන අමනුෂ්‍යයින් මල්ලෝදර යක්‍ෂයා, මහේශ්වර යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා දේව මංගල බලිය
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා ශුභ මංගල බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා අත්ත කළ්‍යාණ බලිය 

මෙම බලි ශාන්තිකර්ම පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු තවත් දෑ රැුසක් වෙයි. එනම්, ඒ ඒ බලි ශාන්තිකර්මවල දී පිහිට පැතිය යුතු දෙවිවරු කවරහු ද යන්න, ග‍්‍රහ දාන, ස්නානයට ඖෂධ, පූජා කළ යුතු මල්, පැළඳිය යුතු පාෂාණ, පැළඳිය යුතු ලෝහ, පැළඳිය යුතු යන්ත‍්‍ර හා පූජාකටයුතු වෘක්‍ෂයන් ආදියයි. 

මේවා පිළිබඳ ඉදිරි ලිපියකින් විස්තර බලාපොරොත්තු වන්න. 

එම්. එම්. රෝහණ වසන්ත 0714161082/wasantha2010@gmail.com

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්