Thursday, June 4, 2009

සමාජ ගැටළුවක් ලෙස ‘විවාහය ප‍්‍රමාද වීම’ විදු ඇසින්

සමාජ ගැටළුවක් යනු, යම් භූගෝලීය සීමාවක වාසය කරන ජන කොටසක් කෙරෙහි එම ජන කොට්ඨාශයේ පැවැත්මට (සමාජ සතත්වය) බාධා ඇති කරවන සේම එහි ගලායාම (සමාජ ගතිකත්වය) අඩපණ කරවන යම් ක‍්‍රියාවලියක් හැඳින්වීම සඳහා සමාජ මානව විද්‍යාඥයින් විසින් භාවිත කරන ලද පර්යාය පදයකි. යථෝක්ත සංසිද්ධිය හඳුනාගෙන එකී සංසිද්ධිමය වටාපිටාව වෙනස් කිරීමෙහි ලා ක‍්‍රියාකාරී වන්නන්ට තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන පර්යාය පදය සාමාන්‍යකරණයකට ලක් වීම අද්‍යතන සමාජය තුළ දැකිය හැකිය. 

සමාජ මානව විද්‍යාඥයින් සමාජය තුළ ඇතිවන විවිධ වූ සමාජ ප‍්‍රශ්න කෙරෙහි සිය දෘෂ්ඨි කෝණයෙන් විවිධ විමර්ෂණයන් කරමින් එහි ලා පිළිතුරු සෙවීමෙහි යෙදී සිටිති. මේ අතර දේශපාලනඥයින් තමුන් පාලනය කරන භූගෝලීය සීමාව තුළ වෙසෙන ජනතාවගේ යට කී ආකාරයෙන් පැණ නැගෙන විවිධ වූ ගැටළු නිරාකරණය සඳහා දේශපාලනමය විසඳුම් සෙවීමෙහි නිරතව සිටිති. මෙබඳු සමාජ ගැටළු විටෙක ඉතා බැරැරුම් අවස්ථාවන් කරා යොමු කරවීමට පවා හේතුවන බව අපට නොරහසකි. මිනිසා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම සමාජය තුළ කායික අවශ්‍යතා පිළිබඳ සංකල්පයත්, ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයත් යන අවශ්‍යතා දෙක කෙරෙහි පමණක් සීමා වූ තත්වයක් දැකගත හැකිව තිබූ බව පෙන්වාදිය හැකිය.  

 පිරිසිදු වාතය, 
 ජලය, 
 ආහාර, 
 වස්ත‍්‍ර, 
 ඖෂධ, 
 නිවාස, යන මූලික යන මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා ප‍්‍රාග් ඓතිහාසිත සමාජගත මිනිසා යොමු වූ අතර,  
 ඉඩකඩ (ජීවත් වීමට සහ ආහාර සපයාගැනීමට), 
 නීරෝගීභාවය, 
 ශරීර ක‍්‍රියාකාරීත්වයේ නිසි පැවැත්ම තහවුරුකරණයට අවශ්‍ය ව්‍යායාම් ආදිය, 
 ලිංගික තෘප්තිය, 
 විවේකය යන අවශ්‍යතා කෙරෙහි දෙවනුව යොමුවන මිනිසා එකී අවශ්‍යතා පූර්ණත්වයට පත්කරගැනීම සඳහා ශිෂ්ට සම්මත ක‍්‍රියාමාර්ගවලට එළැඹීමත් සමග මිනිසා ශිෂ්ටාචාරගත වූවා යයි සමාජය විසින් පෙන්වාදෙනු ලබයි. මේ සමගම ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසා සතු කරගැනීමට යොමු වූ අතර එහි මූලික පියවර ලෙසින් විවාහය නැමති සමාජ සංස්ථාව ගොඩනැගීම දැකිය හැකිය. 

මෙම ද්වි අවශ්‍යතාත්මක තත්වයන් නොමැති කල මිනිසා ප‍්‍රාථමික වශයෙන් පමණක් නොව ශිෂ්ටාචාරගත වර්ථමාන ලෝකය තුළද මිනිසාගේ මනුෂ්‍යත්වයේ සීමාවන් ඉක්මවා යන තත්වයක් දැකිය හැකි වීම මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි. අනතුරුව මිනිසාගේ තෙවන, සිව්වන සහ පස්වන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම යනු පුද්ගලයාගේ මානසික ආකල්ප මත ගොඩ නැගෙනු ලබන අවශ්‍යතාත්මක තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙබඳු වූ සමාජ පසුතලයක පුද්ගලබද්ධව පවතින්නා වූ අසහනකාරී වාතාවරණමය තත්වයන් සමාජ ගැටළු බවට පත්වන බව මෙහිදී අපට පැහැදිළි කර ගත හැකිය.  

මෙම සමාජ මානව විද්‍යාත්මක පූර්විකාව ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කරන ලද්දේ විවාහය නැමති සමාජමය සංසිද්ධිය වටා ගොණු වී ඇති කරුණු පිළිබඳ චිත‍්‍රයක් ඔබේ සිතෙහි මවා ගැනීමට පහසු ඉඩක් විවර කර දීමටය. විවහය නැමති සමාජ සංසිද්ධිය මූලිකවම කේන්ද්‍ර ගත වන ක‍්‍රියා මාලාවක් වෙයි. මෙම සමාජ ක‍්‍රියා මාලාව මූලිකව පහද දැක්වෙන වර්ගීකරණයට ලක් කළ හැකිය.  

 මිනිසාගේ මූලික අවශ්‍යතා පූරණය (ලිංගික ක‍්‍රියාවලිය හා ලිංගික තෘප්තිය ලැබීම)
 වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම 
 වර්ගයාගේ ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාව මෙම ක‍්‍රියාදාමයන් ඔස්සේ විවාහයට එළැඹෙන මානවයා ඊට නතුවන වයස් කාණ්ඩයක් සම්මත කර ඇත. 

මෙම වයස් කාණ්ඩයේ පසුවන සාමාජිකයන් විවාහයට යොමුවීම මූලිකව ස්ත‍්‍රියකගේ මුල් ආර්තවය පදනම් කර ඇති බව දැකගත හැකි කරුණකි. ස්ත‍්‍රියක් තමුන් වර්ගයාගේ ප‍්‍රතිනිෂ්පාදන ක‍්‍රියාවලියට යෝග්‍යතාවය පළමු ආර්තවයෙන් ලබන අතර ආර්තවහරණය දක්වා කාල වකවානුව විවාහය සඳහා සම්මත වයස් කාණ්ඩය ලෙස ජීව විද්‍යාත්මක පනදමකින් යුතුව අපට පෙන්වාදිය හැකිය.  

සාමාන්‍යයෙන් ස්ත‍්‍රියකගේ වයස අවුරුදු 10 සිට 20 දක්වා වූ දශකය (අසාමාන්‍ය තත්වයන් යටතේ මීට ප‍්‍රථමයෙන් පළමු ආර්තවය සිදුවන අවස්ථා ඇති බව සමාජය තුළ දැකගත හැකි කරුණකි) පළමු ආර්තවය දක්වන අතර වයස අවුරුදු 40 සිට 50 දක්වා වූ දශකය (අසාමාන්‍ය තත්වයන් යටතේ ආර්තවහරණය ද මීට පසු කාලයක් දක්වා පැවතීම ද සිදුවන අවස්ථා ඇති බව සමාජය තුළ දැකගත හැකි තව ද කරුණකි) තුළ ආර්තවහරණය වීම දැකගත හැකිය. මෙම කාලය තුළ පළමු ආර්තවය හා ආර්තවහරණය අතර කාල වකවානුව අවුරුදු 40ක කාලයක් ස්ත‍්‍රියකගේ සරු කාලය ලෙස දැක්විය හැකිය. මෙම සරු කාලයෙන් අර්ධයක් නැතහොත් අවුරුදු 20ක් ගත වූ වයස ලෙස අවුරුදු 30 දැක්විය හැකිය. මෙම කාලය තෙක් විවාහයකට එළැඹීම ප‍්‍රමාදවීම විවාහය ඇත්තෙන්ම ප‍්‍රමාද වන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.  

මෙහිලා බලපාන හේතු සාධක විවිධය. පවුල් පසුබිම, අධ්‍යාපන රටාව, ආර්ථිකය, සමාජ පරිසරය ආදී විවිධ කරුණු මෙහිලා බලපෑම් සහගතව ක‍්‍රියාත්මක වන බව නොරහසකි. නමුත් මෙම තත්වය ජ්‍යෝතිර්විද්‍යානුකූල පදනමකින් විග‍්‍රහ කර ගැනීම තුළ අපට ඒ සඳහා ප‍්‍රතිකර්ම කෙරෙහි යොමු වීමට තවත් ඉඩක් පෙන්වාදෙන බව කිව යුතුය. පුද්ගලයා විසින් සිදුකරනු ලබන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයන් නියෝජනය කරමින් පුද්ගල ජන්ම පත‍්‍රයක ග‍්‍රහ පිහිටීම් ඇතිවෙයි. 

විශ්ව ග‍්‍රහ තාරකා සිතියම වශයෙන් හැඳින්විය හැකි පුද්ගල ජන්ම පත‍්‍රයකින් යථෝක්ත ක‍්‍රියා විපාක හඳුනාගත හැකි අතර එහිලා අනුයුක්ත කිරීමෙහි අභිප්‍රෙරිත ප‍්‍රතිකර්ම ජ්‍යෝතිර්විද්‍යානුකූලව යාතුකර්ම ගණයට ඇතුළත් වන බව පෙන්වාදිය හැකිය. නමුත් මූලික සමාජ තත්වයන් හා ආර්ථික දේශපාලනික හේතුසාධක මෙහිදී විමර්ෂණයට ලක් නොකරන බව අවධාරණය කළ යුතුය.  

විශ්ව ග‍්‍රහ තාරකා සිතියමකින් හඳුනාගන්නා පුද්ගල ක‍්‍රියා විපාකයන්ගේ තත්වයන් වෙනස් කිරීම සඳහා ජ්‍යෝතිර්විද්‍යානුකූල යාතුකර්මවල පදනමක් ඇත. විශ්ව ශක්තීන් උපයෝග කර ගනිමින් පුද්ගල ක‍්‍රියා විපාකයන්ගේ තත්වයන් වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ ද යන ප‍්‍රශ්නය මෙහිදී මතු වන්නකි. විශ්ව ශක්තීන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූතයන්ය. නමුත් මෙහිලා පංච මහා භූතයන්ගෙන් තොර යමක් ඇති බව පෙන්වා දිය යුතුය. 

එය පුද්ගල මනස නැතහොත් පුද්ගල විඥාන ධාතුවයි. මෙම පුද්ගල විඥාන ධාතුව මුල්කර පංච මහා භූතයන්ට අනුරූපව රූප, ශබ්ධ, ගන්ධ, රස, ශ්පර්ෂ හා ධර්ම යනුවෙන් ද්විතීයික විශ්ව ශක්තියක් ඇති වෙයි. පුද්ගල ක‍්‍රියා විපාකයන් ඇතිවන්නේ මෙකී පුද්ගල මනස නැතහොත් පුද්ගල විඥාන ධාතුව මුල්කර ද්විතීයිකව ඇතිවන තත්වයන්ගෙන් බැවින් ඊට ප‍්‍රතිකර්ම යාතුකර්මාදියෙන් එසේත් නැතහොත් විශ්ව ශක්තීන්ගෙන් ඇති කරගන්නා ශක්තියකින් ඇත්තෙන්ම හැකියාවක් ඇත. 

එහි දී පුද්ගල මනසම ඊට මුල්වන බව මෙහිදී අවධාරණය කළ යුතු සත්‍යයකි. විවාහය ප‍්‍රමාද වීම කෙරෙහි මෙම ජ්‍යෝතිර් විද්‍යානුකූල සන්දර්භය උපයෝගාත්මකව විග‍්‍රහයට ලක් කළ හැකිය. විවාහ ප‍්‍රමාදයට පිළියම් වශයෙන් ජ්‍යෝතිර් විද්‍යානුකූලව සිදු කරන ප‍්‍රතිකර්ම ලෙස සෙත්කවි, යන්ත‍්‍ර දැමීම, මන්ත‍්‍ර භාවිතය හා වෙනත් ශාන්තිකර්ම භාවිත කිරීම පෙන්වාදිය හැකිය. ඉදිරියේ දී පළ කරන ලිපි තුළින් විවාහය ප‍්‍රමාද වීමහිලා බලපාන ග‍්‍රහ පිහිටීම් පිළිබඳ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වන වතර එහිලා ක‍්‍රියාවට නැගෙන ජ්‍යෝතිර්විද්‍යානුකූල ප‍්‍රතිකර්මාදිය පිළිබඳව ද එහි දී සාකච්චාවට බඳුන් කෙරෙනු ඇත.  

එම්. එම්. රෝහණ වසන්ත 
එම්. ඒ. (කොළඹ), බී. ඒ. ගෞරව (කොළඹ) 
071-4161082/ 0755075182 (දවසේ ඕනෑම වේලාවක)

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්